April 24, 2024

බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යාංශය යටතට - ජනපතිගෙන් හදිසි තීන්දුවක් Featured

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දී ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගනු ලැබීය.

ජනාධිපති උපදේශක සභා වාර 04කදී මහා සංඝරත්නය කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස්  කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන්නේයැයි කීය. දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල ඒවායේ උන්නතිය උදෙසා එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටළු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ නියාමනය තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය  ප්‍රසාදය පළ කළහ.

මෙවර පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ඇතුළු තනතුරුවලට තෝරාගැනීමේදී අනුගමනය කළ පිළිවෙත රටටම ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සඳහන් කළහ. පසුගිය රජය සමයේ එම තනතුරුවලට පත්කළ ආකාරය ජනතාව පිළිකුල් සහගතව බලා සිටී බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

අමාත්‍යාංශ සිමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරිකිරීමට ඉවහල් වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කීහ.  

“යහපත් සිහිය” ජීවිතයට ඉතා වැදගත්වන බව පෙන්වා දුන් මිතිරිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව හිමියෝ එය පාසල් පංතිකාමරයට හඳුන්වාදීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

ගුරු භික්ෂුන් වහන්සේට, දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමාන රක්ෂණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ යෝජනා කළහ.

රජයේ රැකියාදීමේදී දහම්පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමයක වැදගත්කම පූජ්‍ය දිවියගහ යසස්සි හිමියෝ පෙන්වා දුන්හ.

භික්ෂු අධ්‍යාපනය හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් හෝ ථෙරවාද බුදු දහම පිළිබඳ සංඝායනාවක් අවශ්‍ය බව මාහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ යෝජනා කළහ.

Last modified on Saturday, 22 August 2020 09:29

Related items