April 26, 2024

තෙල් බෙදා හැරීමත් නවතී - ඉන්ධන අවුල උඩු දුවයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියෝ ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිටි සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස සංස්ථාවේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඊයේ (15) හවස රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ලංකා ඛණජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවා.

ඉන්ධන මිල වැඩිවීම සහ ඩොලරය ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරන ලෙස සංගමය පාලනාධිකාරියෙන් ඉල්ලිමක් කල බවද ඔහු පැවසුවා.

ඉන්ධන මිල වැඩිවීම සහ ඩොලරය ඉහළ යාමට අමතරව ලිහිසි තෙල් සියයට 75කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුලු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවද දින දෙකක් තුළ විසදුමක් නොලැබීම නිසා ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කළ බවත් වැඩිදුරටත් පවසා සිටියා.

දැනට සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීම සඳහා පෞද්ගලික ටැංකි රථ 800 ක් පමණ සේවයේ යෙදවා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 13:26