April 27, 2024

කිරි පිටි ගෙන්වීම නවතිද්දී දියර කිරි ගැනත් අමිහිරි පුවතක්

December 29, 2021

දිවයින පුරා ජනතාව මේවන විට යළිත් කිරි පිටි හිඟයකට මුහුණ දී තිබෙනවා.

කිරි පිටි පැකට්ටුවක් ලබා ගැනීම සඳහා පොලිම්වල සිටින පාරිභෝගිකයින් බොහෝ ප්‍රදේශවල දක්නට හැකි යි.

එලෙස පෝලිම්වල සිටි ජනතාව ද බොහෝ විට හිස් අතින් ආපසු එන බව යි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

පවතින ඩොලර් හිඟයත් සමග කිරි පිටි ආනයනය සීමා කර ඇති අතර මෙවන් මොහොතක දේශීය කිරි නිෂ්පාදකයින් වෙත වැඩි අවධානය යොමුව තිබෙනවා.

පසුගිය කිරි පිටි හිඟයේ දී ද රජය නියෝජනය කරන පාර්ශව පවා ප්‍රකාශ කළේ කිරිපිටි පානය කිරීමට වඩා දේශීය දියර කිරි පානය කිරීම සෞඛ්‍යට මෙන්ම ආර්ථිකයට ද යහපත් බව යි.

දියර කිරිවලටත් හෙණහුරෙක්

කෙසේ වෙතත් මෙවන් පසුබිමක දේශීය දියර කිරි නිෂ්පාදනය ද අධෛර්යමත් වන ආකාරයේ කරුණක් පිළිබඳ වාර්තා වෙනවා.

දියර කිරි නිෂ්පාදනයේ දී යොදාගන්නා ඇසුරුම්වලට රජය විසින් අයකරනු ලබන බද්දක් මීට හේතු වී තිබෙනවා.

ජාතික පශු සම්පත් මණ්ඩලය සඳහන් කරන්නේ ආනායනය කරනු ලබන මෙම ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අයකරන බව යි.

මේ හේතුවෙන් මෙරට දියර කිරි කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව යි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

රජයට ඉල්ලීම්

ජාතික පශු සම්පත් මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම බද්ද ඉවත් කර ගැනීම සඳහා රජය වෙත ඉල්ලීම් ද ඉදිරිපත් කර ඇති බව යි.

විදෙස් රටවල්වල සිට කිරි පිටි ආනයනය නොකරන පසුබිමක මෙම බද්ද මගින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තයට බදු පැනවීම මගින් කර්මාන්තකරුවන්ට සහ ඒ සම්බන්ධ යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව පශු සම්පත් මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඇසුරුම් සඳහා පනවා ඇති මෙම බද්ද හේතුවෙන් කර්මාන්තකරුවන්ට සිදුව ඇති ගැටලු මගහරවා ගැනීම පිණිස දියර කිරි මිල ඉහළ නංවන ලෙසට ද මේවන විට රජයට යෝජනා ද ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් දියර කිරි මිල ඉහළ නැංවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික පශු සම්පත් මණ්ඩලය අවධාරණය කළා.

දියර කිරි ඇසුරුම් වරායේ සිර වෙයි

මේ අතර ඩොලර් අර්බුදය හේතුවෙන් වරායෙහි සිර වී ඇති භාණ්ඩ අතර දේශීය දියර කිරි කර්මාන්තකරුවන් සිය නිෂ්පාදන සඳහා යොදාගන්නා ඉහත කී ඇසුරුම් ද තිබී ඇති බව යි වාර්තා වන්නේ.

ඉන් කොටසක් පසුගිය දා නිදහස් කර ගැනීමට සමත් වූ බව ද සඳහන්.

එලෙස නිදහස් කර ගත් ඇසුරුම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් 36,000ක් පමණවන බවත් එම කාර්යයට ජාතික පශු සම්පත් මණ්ඩලය මැදිහත් වී ඇති බවත් පැවසෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 18:06