April 27, 2024

ඔමික්‍රෝන්ගෙන් බේරෙන්න රටවල් වැසෙයි! ලංකාවත් තීරණයක් ගනියි!

November 28, 2021

දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් විසින් ප්‍රථමයෙන්ම හඳුනාගනු ලැබූ B.1.1.529 හෙවත් ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීම පිණිස මේවන විට රාජ්‍යයන් රැසක් සිය රටවල් තුළට ඇතුළුවන පිරිස් පිළිබඳ නව නීති පනවා තිබෙනවා.

ඒ අනුව දකුණු දිග අප්‍රිකානු රටවල්වලින් පැමිණෙන පුද්ගලයින්ට බොහෝ රාජ්‍යයන් සිය රටවල් තුළට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.

මෙලෙස දකුණු අප්‍රිකානු රටවල්වලට ප්‍රථමයෙන්ම සීමා පැනවූයේ එක්සත් රාජධානිය විසින් වන අතර පසුව තවත් රටවල් රැසක් ඔවුන්ගේ මග යමින් අදාළ රටවල් වෙත සීමා පැනවූවා.

කෙසේ වෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදය මේවන විටත් අප්‍රිකාවෙන් දුර ඈත රටවල් කිහිපයකින් හමුව ඇති අතර ඒ අනුව හඳුණා නොගත් ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් රටවල් රැසක සිටිය හැකි බවට ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් බිය පළ කරනවා.

ඔමික්‍රෝන් හමුව ඇති රටවල්

ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථමයෙන්ම හඳුණාගනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ එක් පළාතක පැතිර යමින් තිබිය දී යි.

එහෙත් පසුව දකුණූ අප්‍රිකාව වටා ඇති දකුණුදිග අප්‍රිකානු රටවල් කිහිපයක් වෙත මෙම ප්‍රභේදය පැතිර ගොස් තිබුණා.

පසුව හොංකොං නගරයෙන් ද ඔමික්‍රෝන් ආසාදිතයෙකු හමු වූයේ නව ප්‍රභේදය ලොව වටා පැතිර යන බවට ඉඟි කරමින්.

එම තත්ත්වයත් සමග දකුණු දිග අප්‍රිකානු රටවල්වලින් පැමිණෙන්නන් සිය රටවල්වලට ඇතුළු නොකර ගැනීමට බොහෝ රාජ්‍යයන් කටයුතු යොදා තිබූවත් දින දෙකක පමණ කාලයක් තුළ බොහෝ රටවල් තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වීම සිදු වූවා.

ඊශ්‍රායලය, ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම, චෙක් ජනරජය ආදී රටවල්වලින් එලෙස නව ප්‍රභේදය ආසාදනය වූවන් හමු වූ අතර මීට පැය කිහිපයකට පෙර එක්සත් රාජධානියෙන් ද ඔමික්‍රෝන් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා කළා.

ගුවන්තොටුපොල නීති තද කරයි

මෙම තත්ත්වයත් සමග මේවන විට ලොව රටවල් රැසක් ගුවන් තොටුපොල නීති තර කොට ඇත්තේ දකුණූ දිග අප්‍රිකානු රටවල්වලින් පැමිණෙන කිසිවෙකුට හෝ සිය රටවල් තුළට ඇතුළු විය නොහැකි ලෙසට යි.

එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව, ඉරානය, බ්‍රසීලය, කැනඩාව, තායිලන්තය සහ යුරෝපා සංගමයේ රටවල් ආදිය මෙලෙස සිය ගුවන් තොටුපොළ නීති තර කොට තිබෙනවා.

එමෙන්ම දකුණු කොරියාව, තායිලන්තය, ඕමානය, කුවේට් සහ හංගේරියාව ද සංචාරක නීති තර කළ නවතම රටවල්වනවා.

ශ්‍රී ලංකාවත් තීරණයක් ගනියි

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා පැතිර යාමේ අවදානම හමුවේ එය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දකුණු දිග අප්‍රිකානු කලාපයේ රටවල් 06ක් වෙත අවධානය යොමු කර ඇති බව සඳහන්.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානාව, ලෙසොතෝව, නැමීබියාව, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය එම රටවල් 06 යි.

මෙම රටවල්වල සිට පැමිණෙන්නන්ට සහ පසුගිය දින 14ක කාලය ඇතුළත එම රටවල්වලට ගොස් ඇති ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් වනවා.

එමෙන්ම වෙනත් රටක සිට පැමිණුනත් එම රටවල් හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ඔවුන්ට ද මෙරටට ඇතුළු වීමට ඉඩ නොලැබෙනු ඇති.

මේ පිළිබඳව එම කළාපයේ සිට පැමිණෙන ගුවන් සේවා සමාගම් වෙත දැනුම් දී ඇති බව යි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසන්නේ.

මෙම තහනම අද (28) දින සිට ක්‍රියාත්මක බවත් යළි දැනුම් දෙන තුරු මෙම තහනම පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අධික විකෘති ගණනක්

එහි විකෘති ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විද්‍යාඥයන් පවා පුදුමට පත්ව ඇති බව සඳහන්.

දකුණූ අප්‍රිකානු වසංගත ප්‍රතිචාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටූලියෝ දි ඔලිවේරා මහතා පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ විකෘති 50ක් මෙතෙක් සොයාගෙන ඇති බව යි.

ඉන් 30කටත් වඩා වෛරසයේ “ස්පයික් ප්‍රෝටීනවල” සිදුව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කොවිඩ් 19 වෛරසය මිනිස් සිරුරෙහි සෛල සමග සම්බන්ධ වී සිරුරට ඇතුළු වීමට භාවිත කරන්නේ මෙම ස්පයික් ප්‍රෝටීන යි.

එමෙන්ම නිපදවා ඇති කොවිඩ් මර්ධන එන්නත් බොහොමයක ඉලක්කය ද වෛරසය වටා පවතින ස්පයික් ප්‍රෝටීන වනවා.

මෙවන් තත්ත්වයක් මත නව ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනවල සිදුව ඇති විකෘතිතා ලෝකයට දරුණු බලපෑම් එල්ල කළ හැකි බවට යි මත පළව තිබෙන්නේ.

කියවන්න: ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව වටා පැතිරීම ඇරඹෙයි

Rate this item
(2 votes)
Last modified on Sunday, 28 November 2021 15:56