May 09, 2024

වතුර, ගෑස් නැහැ - ඒත් නුවරඑළියේ වසන්ත උදානයට සියල්ල සූදානම්

මෙවර නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසනවා.

නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වසන්ත උදානය ලබන අප්‍රේල් 1 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.

නගරාධිපතිවරයා සඳහන් කළේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි.

එලෙස පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ නුවරඑළිය ප්‍රදේශයේ සියලුම සංචාරක හෝටල් හිමියන් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල හිමිකරුවන් දැනුවත් කර තිබෙනවා.

පසුගිය සමයේ නුවරඑළියේ ඇතැම් සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල බාබකිව් උඳුන් කාමර තුල තබා ගැනීමට අවස්ථාව ලබා දීම හමුවේ ජීවිත හානි සිදු වූ අතර මින් ඉදිරියට එවැනි අනතුරු සිදු නොවීමට පියවර ගෙන ඇති බවයි නගරාධිපතිවරයා අවධාරණය කළේ.

මේ අතර නුවරළිය මහ නගර සභාවේ විපක්ෂ නායක මහින්ද දොඩම්පේ මහතා පෙන්වා දෙන්නේ වසන්ත උදානය පවත්වන්නේ නම් මේ දිනවල ප්‍රදේශයේ පවතින පානීය ජල ගැටලුවට සහ ගෑස් හිගයට පිළියම් යොදන ලෙසටයි.

මේ දිනවල පවතින ඉන්ධන සහ ගෑස් හිගයට විසඳූම් ලබාදෙමින් වසන්ත උදානය පවත්වන්නේ නම් නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බව ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවන් මෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරන් ද පෙන්වාදි තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 March 2022 16:44