April 28, 2024

වල් වැදුණු නීතියේ ඇත්ත හෙළිකළ ඒෂියන් මිරර් මාධ්‍යවේදියාට තර්ජන

February 11, 2022

ඒ්ෂියන් මිරර් ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට දුරකතනය ඔස්සේ තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇත්තේ ඔහු වාර්තා කළ පුවතක් සම්බන්ධ කරගනිමින්.

අම්බලන්තොට, තවාළුවිල හා පුහුල්යාය ප්‍රදේශවල කුඹුරු ඉඩම් පුරන් කොට නීති විරෝධී ලෙස එම ඉඩම් ගොඩකරමින් ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් හෙට්ටිආරච්චි මහතා සිදු කළ හෙළිදරව්වක් මීට මුල් වී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව හරහා ලබාගත් තොරතුරු ද ඇතුළත්ව යි ඔහු එම මාධ්‍ය ගවේෂණය සිදු කොට ඇත්තේ.

කෙසේ වෙතත් එම පුවත පළ වීමෙන් අනතුරුව අදාළ ඉඩම් ගොඩකිරීමට සම්බන්ධ පුද්ගලයෙකු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාගේ දුරකතනයට ඇමතුම් ගෙන බැණ තර්ජනය කොට ඇති බව සඳහන්.

මේ පිළිබඳව ඔහු අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදු කොට තිබෙනවා.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා යනු තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරගනිමින්, ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදෙන සම්මානලාභී මාධ්‍යවේදියෙකුවන අතර සමාජයෙහි ඇති නොපනත්කම් කෙරෙහි සිය මාධ්‍යකරණය ඔස්සේ මැදිහත් වෙමින් මාධ්‍යවේදියෙකු සතු සැබෑ වගකීම ඉටුකරන්නෙකු ද වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, අදාළ ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කළ පසුබිමක තමන් සිදු කළේ, රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි සහ විවිධ පුද්ගලයින් සිදුකරන නීති විරෝධී ක්‍රියා අනාවරණය කිරීම බව යි.

නීතිය ක්‍රියාත්මක නොවන පසුබිමක ඒ පිළිබඳ රටට අනාවරණය කරමින් සිය මාධ්‍ය වගකීම ඉටු කිරීම හේතුවෙන් හෙට්ටිආරච්චි මහතාට සිදුව ඇති තර්ජනය සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව ඒෂියන් මිරර් නිරන්තර අවධානයෙන්.

Rate this item
(4 votes)
Last modified on Friday, 11 February 2022 10:09