May 04, 2024

ඩීසල් හිඟයක්! ඇනවුම් කළත් ඩීසල් නෑ

February 11, 2022

මේවන විට ප්‍රදේශ කිහිපයක් ඩීසල් හිඟයක් පවතින බවට ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඉන්දීය අයි.ඕ.සී. සමාගම සිය ඩීසල් අලෙවි කිරීමේ මිළ රුපියල් 03 කින් ඉහළ දැමීමත් සමගම මෙම ඩීසල් හිඟය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒෂියන් මිරර් කටුනායක වාර්තාකරු සඳහන් කළේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්ධන පිරවුම් හළ ඇතුළු අවට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළ් වලද ඩීසල් දැනට දින තුනක සිට නොමැති වීම නිසා ප්‍රදේශවාසීන් රියදුරන් සහ ගුවන් තොටුපළ මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වෙත පැමිණෙන රියදුරන් ද දැඩි අසීරුතාවයකට පත් ව සිටින බවයි.

ඉකුත් පෙබරවාරි 07 වැනිදා සිට මෙම ඉන්ධන පිරවුම් හළ් වල ඩීසල් නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ පිළිබඳව සිදු කළ විමසීමකදී කටුනායක ගුවන් තොටුපළ ඉන්ධන පිරවුම් හළේ ප්‍රකාශකවරයෙකු පැවසූවේ දැනට දින තුනක සිට මෙම ඉන්ධන පිරවුම් හළ තුළ ඩීසල් නොමැති බවයි.

දිගින් දිගටම කොළඹ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් ලබා ගැනීම සදහා ඇනවුම් කළ ද මේ වනතුරු ඩීසල් නොලැබුණු බවයි ඔවුන් චෝදනා කරන්නේ.

එමෙන්ම සීදුව, මීගමුව වැනි ප්‍රදේශ වල පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් තුළ ද ඩීසල් නොමැති තත්වයක් උදා වී ඇතැයි වාර්තා වනවා.

කටුනායක ගුවන් තොටුපළ සහ නිදහස් වෙළෙඳ කළාපය සතුව විශාල වාහන ප්‍රමාණයක් දිනපතා ධාවනය කිරීම් සදහා යොදවන අතර, මෙම ආයතන වෙත දිවයින් නන් දෙසින් දිනපතාම වාහන විශාල සංඛ්‍යාවක් ද පැමිණීම සිදු වෙනවා.

විශේෂත්වය වන්නේ ඒවා බොහොමයක් ඩීසල් මගින් ධාවනය වන රථ වාහන වීමයි.

Rate this item
(2 votes)