May 04, 2024

ජනතාවට කුණු අල කවන ජාවාරමක්! අල අස්සේ තවත් ජාවාරම් රැසක් (PHOTOS)

February 11, 2022

පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ හතලිස් දහසක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී ඊයේ (10) සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

දඹුල්ල නගරාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම ගබඩා පරීක්ෂාවට ලක් කර තිබුණා.

එක් ගබඩාවක කාන්තාවන් යොදා ගෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් අල තොග සුද්ද පවිත්‍ර කරමින් හොඳ අල වලට කලවම් කොට ඇසුරුම් කිරිම සිදු කරමින් සිටි බව නගරාධිපතිවරයාවරයා පෙන්වා දුන්නා.

කුණු අලවලින් දැඩි දුර්ගන්ධයක්

එමෙන්ම එම ගබඩාව තුළ දැඩි දුර්ගන්ධයක් සහ අර්තාපල් අල කුණු වී ඕජස් ගලමින් තිබීම විශේෂත්වයක්.

අර්තාපල් අල පාකිස්තථානයේ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩා හිමි හිමිකරුවන්ට ලබා දී ඇතැයි සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

පාකිස්ථානයේ සිට ලංකාවට පැමිණ සිටින ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ඉතා සූක්ෂම ලෙස මෙම ව්‍යාපාරය සිදු කරගෙන යන බවයි අනාවරණය වන්නේ.

දිනකට කන්ටේනර් රථ තිස් පහක් හතළිහක් පමණ අර්තාපල් අල සහ ලොකු ලූනු ගෙන්වා මහා මාර්ග දෙපස තබාගෙන රජයට කිසිදු බදු මුදලක් හෝ නොගෙවා අලෙවි කිරීමේ කටයුතු සිදු වන බවත් මෙම කන්ටේනර් රථ ඇතුළත   කිසියම් මත්ද්‍රව්‍ය හා මෙරටට ගෙන්වීමට තහනම් වෙනත් දේ මෙරටට එන බවත් නගරාධිපතිවරයා චෝදනා කළා.

ජාවාරම හෙළි කළ නගරාධිපති

තමා යටතේ පාලනය වන දඹුල්ල නගර සභාව විසින් මේ පිළිබඳව වරාය අධිකාරියට සහ වගකීම් ඇති සෑම අංශයකට ලිඛිතවම දැනුම් දුන්නද මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම අර්තාපල් අල සහ ලොකු ලූනු දඹුල්ලට ගෙනවිත් නැවත රට පුරා අලෙවිය සිදු වන බව නගරාධිපතිවරයා අනාවරණය කළා.

අල ගෙන්වූ බව කියන ව්‍යාපාරිකයාගෙන් කිලෝවක් ගෙන්වීමට යන මුදල විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල් 122 ක මුදලක් එක කිලෝවක් සඳහා වියදම් වන බවයි.

එහෙත් අර්තාපල් අල කිලෝ එකක් තමා වෙළඳසැලේ රුපියල් සියයකට අලෙවි කරන බව ද ඔහු සඳහන් කළා.

ව්‍යාපාරිකයා කටඋත්තර නෑ

එසේ පාඩු විඳගෙන විකුනන්නෙ කෙසේදැයි නගරාධිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඊට නිසි පිළිතුරක් ඔහුගෙන් නොලැබිණි.

දෙවන ගබඩාව විවෘත කොට බැලීමේදී එහිද කිලෝ 20,000 අධික මිනිස් පරිභෝජනයට නුසුදුසු ඕජස් ගලමින් තිබූ අර්තාපල් අල තොගය සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

එම ස්ථානයේ පෙරදිනයේ පාකිස්ථානයෙන් ගෙන්නූ අර්තාපල් අල බව එහි හිමිකරු සඳහන් කර තිබෙනවා.

අල අස්සේ සිමෙන්ති 

එම ගබඩා දෙකම මුද්‍රා තබා නීතිමය පියවර ගන්නා බව නගරාධිපති ජාලිය ඕපාත මහතා නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එම ගබඩාව තුළ අර්තාපල් අල සහ සිමෙන්ති තොග එකට ගබඩා කර තිබීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතුව ඇතැයි නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කුණු වී ගිය නරක් වී ගිය අල සහ ලොකු ළූණු වල සිමෙන්ති තැවරීමෙන් ඒවා වෙළඳපොලේ සූක්ෂම ලෙස අලෙවි කිරීමේ හැකියාවක් ක්‍රියාත්මක වනවාදැයි සැක පවතින බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මිනිස් පරිහෝජනයට නුසුදුසු අල තොග නගරාධිපතිවරයාගේ පරික්ෂාවට ලක්වූ අයුරු,

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 11:50