May 04, 2024

මහා අනතුරකට අතවනන යාපනයේ ජන ජීවිතය! බලධාරීන් නිහඩයි (PHOTOS)

February 11, 2022

යාපනය කරෙයිනගර් සහ කයිට්ස් දූපත අතර වූ මුහුදු සීමාවේ පොදු මගී ප්‍රවාහන බෝට්ටු සේවය අකර්මන්‍ය වී ඇතැයි ඒෂියන් මිරර් යාපනය වාර්තාකරු පැවසුවා.

මේ හේතුවෙන් රජයේ සේවකයින් ඇතුලු මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් නොමැතිව දැඩි පීඩාවන්ට ලක්ව සිටින බවයි ඔහු සඳහන් කළේ. 

කරෙයිනගර් සහ කයිට්ස් මුහුදු සීමාවේ මෙතෙක් මගී ප්‍රවාහනය කෙරුනු මගී ප්‍රවාහන බෝට්ටුවේ සිදු වූ එන්ජින් දෝෂයක් හේතුවෙන් පසුගිය 08 වනදා සිට අදාල බෝට්ටු සේවය නැවතීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිව තිබෙනවා.

නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය මේවන තෙක් මගී ප්‍රවාහනයට අදාලව නිසි පිළියමක් යොදා නැහැ.

එනිසා සාමාන්‍ය මෝටර් බෝට්ටුවල යතුරුපැදි ඇතුලු භාණ්ඩ පටවාගෙන දැඩි අවධානමක් හමුවේ ජනතාවට ගමන් කිරීමට සිදුව තිබෙනවා.

කයිට්ස් අධිකරණයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, මූලික රෝහලේ සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ට නියමිත වේලාවන්ට සේවයට යාමට නොහැකි වීමෙන් එම පිරිස් දැඩි අසීරුතාවන්ට පත්වන අතරම සාමාන්‍ය ජනතාවටද ප්‍රවාහනය නොමැති වීමෙන් පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සාමාන්‍ය මෝටර් බොට්ටුවකට යතුරුපැදි පැටවීමේදීද දැඩි දුෂ්කරතාවයන්ට පත්වන අතරම මුහුදේ ගමන් කිරීමේදී මුහුදු රලු වීමෙන් දැඩි ජීවිත අවධානමක්ද පවතිනවා.

එබැවින් කඩිනමින් මගී ප්‍රවාහන බෝට්ටු සේවය යථාතත්වයට පත්කර දෙන මෙන් යාපනය දූපත්වාසී ජනතාව සහ රාජ්‍ය සේවකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මුලින් මගී ප්‍රවාහනය සිදුවූ යාත්‍රාව

වර්තමානයේදී කරෙයිනගර් සිට කයිට්ස් දක්වා මගී ප්‍රවාහනය කෙරෙන අයුරු

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 11:13