April 27, 2024

රිපෝටර් කෙනෙක් නිසා කැබිනට්ටුවේ කලබැගෑනියක් : ඇමැතිවරු රැසකගෙන්ම විවිධ අදහස්

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වූයේ කැබිනට් තොරතුරු පිටතට ලබා දීම සම්බන්ධයෙන්.

ඒ ගැන අවධානය යොමු කළේ එස්.එම්.චන්ද්‍රසේන ඇමතිවරයායි.

කැබිනට් ඇමතිගේ චෝදනාව

තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය තුළ කතා කිරීමටත් පෙර මාධ්‍යයට ගිය බවට චන්ද්‍රසේන ඇමතිවරයා ප්‍රකාශ කළේ චෝදනා මුඛයෙන්.

ඒ ගැන සොයා බැලිය යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්ද කළ ඇමතිවරයා මෙසේ කැබිනට් තොරතුරු එළියට දෙන්නේ කවුරුන්දැයි තමා දන්නා බවත් ප්‍රකාශ කළා.

චන්ද්‍රසේන ඇමැතිවරයා පමණක් නොව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ ආකාරයටම පිට වී තිබුණු බවත් කැබිනට් මණ්ඩලය තුළ කතාබස් වී තිබෙනවා.

වරාය ඇමති දුන් උපදෙස

සාමූහික වගකීමක් තිබෙන බැවින් එය උල්ලංඝනය නොකරන ලෙස ඒ අවස්ථාවේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ එකිනෙකාට වාසි විදිහට තොරතුරු එළියට දෙන්න එපා යයි කැබිනට් මණ්ඩලයට අවවාදයක්ද කරමින්.

තමාත් ඔය ගැන දිගටම කතා කළ බවත් එය නරක තත්ත්වයක් බව එහිදී ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඇඟට පතට නොදැනී ප්‍රකාශ කර තිබෙනවා.

මුදල් ඇමතිගේ මතය

ආණ්ඩුවේ ප්‍රධාන ගැලවුම්කරු වන බැසිල් රාජපක්ෂ මහතාද මෙම කතාබහට මැදිහත් වී ඇති අතර කැබිනට් මණ්ඩල තොරතුරු එළියට දීම හැමදාම සිදු වූ බව පෙන්වා දී තිබෙන්නේ තත්ත්වය දැන් නම් ඉතා දරුණු බවද සඳහන් කරමින්.

මෙම කතාබස් අසා සිටි ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ කැබිනට් රහස් සහ පත්‍රිකා එළියට යන එක නතර කළ යුතු බවයි.

නිලධාරීන් ගැනත් සොයා බලන ලෙස එහිදී ජනපතිවරයා වැඩිදුරටත් උපදෙස් ද ලබා දී තිබෙනවා.

ප්‍රසිද්ධ රිපෝටර්

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනපති ධුරය දරද්දී ඇයගේ කැබිනට් මණ්ඩලයේ තොරතුරු මාධ්‍යයට ලබා දීම පිළිබඳව එහි සිටි එක් ඇමතිවරයෙක් විශාල ප්‍රසිද්ධියක් ඉසිලුවා.

කුමාරතුංග මහත්මිය ඔහුව හැදින්වූයේ රිපෝටර් ලෙසයි.

ඒ අන් කවුරුත් නොව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 29 January 2022 19:13

Related items