April 27, 2024

අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක්: ඉල්ලීම කළේ ක්‍රීඩා ඇමති

මධ්‍යම අධිවේගී මාර්ගයේ රේසිං පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන රේසිං පාපැදි තරඟය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම පාපැදි සවාරිය ජනවාරි මස 14 වන දින පෙරවරු 8:30 ට මීරිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් නැවත හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරගය නිමා වෙයි.

ශ්‍රී ලංකා පාපැදි සංගමයේ බලපත්‍රලාභී රේසිං පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙම තරගයට සහභාගි වීමට නියමිතයි. මෙම තරඟය වයස අවුරුදු 19න් පහළ කනිෂ්ඨ ලෙස හා විවෘත සුපිරි කාණ්ඩය සහ කාන්තා තරගයක් වශයෙන් තරඟ පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

කාන්තා පාපැදි තරගාවලියේ ප්‍රථම දෙවන තෙවන සිව් වන හා පස්වන ස්ථානය දක්වා ජයග්‍රහයකයින්ට මුදලින් රුපියල් 50,000.00, 30000.00, 25,000.00 හා 20,000.00 බැගින් පිරිනැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

කනිෂ්ඨ සහ විවෘත සුපිරි පිරිමි පාපැදි තරගාවලියෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ජයග්‍රහයකයින් සඳහා මුදලින් රුපියල් ලක්ෂයක්, හැත්තෑ පන්දහසක්, හා පනස් දහසක් බැගින්ද හතරවන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා ජයග්‍රාහකයින්ට මුදලින් තෑගි පිරිනැමීමටද නියමිත බවයි සංවිධායකයින් පවසන්නේ.

එම මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

"අද මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමා එතුමන් විසින් කරන ලද ඉල්ලීමට අනුව තමයි පාපැදි සම්මේලනය මේ සඳහා අවසර ලබා දීලා තියෙන්නෙ. අධිවේගී මාර්ගය එදා විවෘත කරන අවස්ථාවේදී එවකට සිටි පස්වන ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ප්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවට අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර එය දැක දැක බලා ගැනීම සඳහා දින කිහිපයක් විවෘත කර සාමාන්‍ය ජනතාවට එය නැරඹීමට අවස්ථාව උදාකර දුන්නා. ඒ වගේම පාපැදි සවාරියක් පැවැත්වීම සඳහා ඒ සඳහා අවසර ලබාදෙන ලෙස අප ගෙන් ඉල්ලීමක් කළා.

එතුමාට මං මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු කර දීලා මෙහෙම පාපැදි සවාරිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම පිළිබඳව. මේක පාපැදි ශූරීන්ට අනගි අවස්ථාවක් හැටියට මම දකිනවා. අධිවේගී මාර්ගයක ජාත්‍යන්තර අත්දැකීම් ලබාගෙන ක්‍රීඩා කරන්න ලැබීම පිළිබඳව. අධිවේගී මාර්ගය මේ මස 15 වැනිදා සවස 4 ට අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන්නේ."

Rate this item
(0 votes)

Related items