May 11, 2024

පාරේ නිදාගන්න තැන් හදන්න යයි - ආණ්ඩුවේ අලුත් වැඩේ ජනවාරියේ එළියට

December 28, 2021

අධිවේගී මාර්ගවල ගිමන් හරින ස්ථාන ඉදිකරන බවත් ඒ අනුව වාහන නතර කර ටිකක් නිදාගෙන යන්න පුළුවන් ස්ථාන සකස් කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අවම අනතුරු සංඛ්‍යාවක් දක්වා අඩු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එය ජනවාරි දෙවැනි සතියේදී ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

නෙලුම්දෙණිය - තුන්තොට - ගලපිටමඩ (B 540) මාර්ගයේ දැදිගම නව පාලම ඉදිකිරීම සදහා මුල් ගල තැබීම දැදිගම පොලිස් ස්ථානය අසලදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඉදිකිරීමට යෝජිත දැදිගම නව පාලම දිගින් මීටර් 50 කින් සහ පළලින් මීටර් 11.5කින් යුක්තයි. ද්විත්ව මංතීරූ සහිතව ඉදිකරන මෙම පාලම සදහා වැය කරන මුදල රු.මිලියන 145 ක්. දින 456 ක් ඇතුලත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතයි.

දිනෙන් දින මහාමාර්ග වල සහ අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක් පෙනුම් කරනවා යැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසූවේ,

"දිනකට ලංකාවේ අටක් පමණ මාරක රිය අනතුරු දළ වශයෙන් සිදුවෙනවා. ඒක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. ලෝක බැංකුවත් අපිට ආධාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා අනතුරු අවම කර ගැනීම සදහා වැඩ පිලිවෙලක් සකස් කරන්න."

"ඊළඟ අවුරුදු දෙකේදී අපි විශේෂ වැඩපිළිවෙළක් යොදලා තියෙනවා අනතුරු අවම කරන්න.අවම අනතුරු සංඛ්‍යාවක් දක්වා අඩු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි දෙවැනි සතියේදී අපි ඒ වැඩසටහන ආරම්භ කරනවා. අපි දැකලා තියෙනවා ගොඩක් අය නින්දට ගිහිල්ලා අනතුරට පත්වෙන අවස්ථාවන්. ඒ නිසා පලවෙනියටම අපි අධිවේගී මාර්ගවල හදනවා ගිමන් හරින ස්ථාන .වාහන නතර කරලා ටිකක් නිදාගෙන ඉඳලා යන්න පුළුවන් තැන් හදන්න රක්ෂණ සංස්ථා ටිකත් එකතු කරලා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඊලඟ අවුරුදු දෙක තුළ දැන් තියන අනතුරු ප්‍රතිශතය අඩුකරන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පොලිසිය දැනුවත් කරලා ඔවුන් සමග අධිවේගී මාර්ගවල රථවාහන අනතුරු වැලක්වීමට වැඩ පිලිවෙලක් දියත් කිරීමට ඉදිරියේදී නියමිතව තිබෙනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)

Related items