May 03, 2024

දිවුරුම් පෙත්සම් ආපිට කැරකෙයි : විමල් - උදය - වාසුගේ ඇමතිකම් අභියෝගයට

December 17, 2021

විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යධුර අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඒ ඔවුන් කැබිනට් මණ්ඩලය සාමූහිකව ගත් තීන්දුවකට එරෙහිව අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දීම මුල් කොටගෙන.

කැබිනට් මණ්ඩල සාමූහිකත්වය

ඉන් කැබිනට් මණ්ඩල සාමූහික වගකීම බිඳ වැටී ඇති බවට නීතිමය තර්කයක් මතුව තිබෙනවා.

මෙම නීතිමය තර්කය මතු කළේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා.

ඒ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මුදල් අමාත්‍යංශය සතු 50% ක කොටස ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී.

දිවුරුම් පෙත්සම්

එහිදී සාලිය පීරිස් මහතා පෙනී සිටියේ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන්.

කැබිනට් මණ්ඩලය ගත් සාමූහික තීන්දුවකට අභියෝග කරමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ප්‍රකාශය ලබා දීමෙන් කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ වී ඇති හෙයින් ඔවුන් තිදෙනාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත යුතු බවයි සාලිය පීරිස් මහතා පෙන්වා දී තිබෙන්නේ.

මීට පෙරද කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩකල සාමාජිකයින් කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කළ අවස්ථාද සාලිය පීරිස් මහතා අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

අතීතයෙන් උදාහරණ

ජේ ආර් ජයවර්ධන රජයේ ඇමති ධුරයක් දැරූ එම්.ඩී. එච් ජයවර්ධන මහතා මෙන්ම ආර්.ප්‍රේමදාස මහතාගේ රජයේ ඇමති ධුර දැරූ ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක හා ජී.එම්.ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ අයුරු ඊට උදාහරණ ලෙසයි පීරිස් මහතා පෙන්වා දී තිබෙන්නේ.

සාලිය පීරිස් මහතා මෙම කරුණු පෙන්වා දී තිබෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම විභාග කරන අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ.

Rate this item
(8 votes)
Last modified on Friday, 17 December 2021 11:14