March 28, 2024

මහින්දගේ "සැලුන් දොර"ට විමල්ගෙන් නව අර්ථ කථනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මහතාට ජනපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රතිචාර දක්වමින් තිබෙනවා.

ඒ විශේෂයෙන්ම ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් විසින්.

ජාතික නිදහස් පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද ඒ අතර සිටිනවා.

මෙතරම් දුෂ්කර සහ අභියෝගාත්මක වෙලාවක රට පාලනය කරන උදවිය තමන්ගේ පරණ "සැලුන් දොර" ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සැලුන් දොරෙන් යනවා එනවා කියන මතය පරණ , හම්පඩ ගැහිච්ච , වර්තමාන තත්ත්වයන්ට කොහෙත්ම නොගැලපෙන එකක් බව ඔහු අවධාරණය කරනවා.

රාජ්‍ය අමාත්‍ය ධූරය

ඒ හරහා ශාන්ත බණ්ඩාර මහතාට රාජ්‍ය අමාත්‍යධූරයක් දීම වීරවංශ මහතා හඳුන්වන්නේ ගොං පාට් වැඩක් ලෙසයි.

ඊයේ (12) සවස 5 ට ජනපතිවරයා සමග තිබූ සාකච්ඡාවට නොගියේ ඒ හේතුව නිසා බව අනාවරණය කරන වීරවංශ මහතා ප්‍රශ්නය ඔය විදියට බේරාගන්ට හදනවා නම් එසේ බේරාගෙන බලන ලෙස ආණ්ඩුවට දැනුම් දෙනවා.

කොහෙන් හරි මැට්ටො ටිකක් අරගෙන 113 කියා පෙන්වීමෙන් හෝ කැබිනට් අටමගලක් අටවා ජනතාවගේ දැවෙන විරෝධය සමනය කිරීමට හැකිදැයි යන්නත් ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.

තකතීරු නිගමනය

රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය ඒ හරහා ගොඩ ගන්ට සිතනවා නම් එතරම් තකතීරු නිගමනයක් තවත් නැති බවයි ඔහු සඳහන් කරන්නේ.

විමල් වීරවංශ මහතා මේ අදහස් පළ කළේ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා දැඩිව විවේචනය කළ සැලුන් දොර පාඨය පක්ෂ මාරු කිරීම මුල් කොටගත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රිය සංකල්පයක්.

2007 වර්ෂයේ එවකට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 ක පිරිසක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග එකතු වූයේ එම සංකල්පයට අනුවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 April 2022 17:21