April 27, 2024

ගමන් බිමන් යන්න, විනෝද වෙන්න කළින් මේ දේ ගන්න - ඇමතිගෙන් උපදෙස්

December 13, 2021

එළඹෙන උත්සව සමයේ විනෝද වීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට පෙර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ බුස්ටර් මාත්‍රාව ලබාගන්න යැයි ඖෂධ නියාමනය සහ සැපයිම් පිළිබඳ රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පවසනවා.

බුස්ටර් මාත්‍රාව ලබානොගෙන උත්සව සමයේ විනෝද වීමට ගියහොත් දෙසැම්බර් මාසයේ කොවිඩ් සුනාමියක් ඇතිවිය හැකි බව ද ඇමැතිවරයා අවධාරණය කළා.

ඇති තරම් ගමන් බිමන් යන්න

උත්සව සමයේ ගමන් බිමන් යාමට පෙර බුස්ටර් එන්නත ලබා ගතහොත් ගමන් බිමන් සීමා කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔහු සඳහන් කළා.

පසුගිය සතිවලට සාපේක්ෂව මේ වනවිට බුස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව අතර උනන්දුවක් ඇතිවි ඇති බවද හෙතෙම අවධාරණය කරනවා.

පෙරේදා (11) මෙරට වැඩිම බුස්ටර් එන්නත් සංඛ්‍යාවක් ලබා දී ඇති අතර එම සංඛ්‍යාව අසුඑක්දහස් දෙසිය අටක්.

20ට වැඩිනම් බූස්ටර්

ඊයේ (12) පෙරවරුව වනවිට බුස්ටර් එන්නත මෙරට පුද්ගලයන් දොළොස් ලක්ෂ හැටහයදහස් පන්සිය පනස් දෙදෙනෙකු ලබාගෙන තිබෙනවා.

කර්මාන්ත ශාලාවල රැකියාවෙහි නිරතවන වයස අවුරුදු විස්සට වැඩි සේවකයන්ට සහ වයස අවුරුදු තිහට වැඩි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගෙන මාස තුනක් ගතවී ඇති පිරිසට බුස්ටර් එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවා. 

සුදුසුකම් සපුරා ඇති වයස 20 ඉක්මවූ ඕනෑම අයෙකුට කොවිඩ් 19 මර්දන බූස්ටර් එන්නත ලබා ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසූවේ. 

වතුකරයට "බුස්ටර්"

මේ අතර වතුකරයේ අවු 30 වැඩි පුද්ගලයින්ට බුස්ටර් එන්නත ලබාදිම අද (13) සිට ආරම්භ කර තිබෙනවා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හොලිරුඩ් වතු යායේ සහ තලවකැලේ දෙව්සිරිපුර ගම්මානයේ අවු 30 වැඩි පුද්ගලයින් 2200 දෙනෙකුට බුස්ටර් එන්නත ලබාදිම හොලිරුඩ් වතු යායේ වතු රෝහල් පරිශ්‍රයේදි අද සිදු කෙරිණ.

බුස්ටර් එන්නත වශයෙන් ෆයිසර් එන්නත ලබාදිම කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සිදු කල අතර, ඉදිරි දින කිහිපය තුල තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ අවු 30 වැඩි පුද්ගලයින් සියළු දෙනාට බුස්ටර් එන්නත ලබාදෙන බවයි එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා කියා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 December 2021 11:12