May 02, 2024

"නිකම් කතා වැඩක් නැහැ.. ප්‍රායෝගික වෙන්න" - ජනපතිගේ තව තීන්දුවක් ගැන ඇමතිගෙන් දෝස්මුරයක්

December 15, 2021

පුනර්ජනනීය බලශක්ති  හා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු  වැඩසටහනක් බවට පත්විය යුතු බව සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ සඳහා ක්ෂේත්‍රයේ සියළුම නිලධාරීන්ගේ සහය හිමි විය යුතු බවත් එමෙන්ම එකී අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි හඳුනා ගැනීමේ වැදගත්කමත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියා

ඔහු මේ බව පැවසූවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම හා ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම සඳහා පත්කළ පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව රැස්වූ අවස්ථාවේදීය.

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීමටත්, විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීමයි.

මෙහි දී නියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි වාහන භාවිත කිරීමට යෝජනා කළා. එහිදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කළා.

අමාත්‍යාංශයක් සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා පිය නගන විට එම ඉලක්කය ජය ගැනීම පිණිස අනෙකුත් අමාත්‍යාංශයන්හි ද සහය එම අමාත්‍යශයට හිමි විය යුතු බව ද හෙතෙම කියා සිටියා.

2030 වන විට රටේ සමස්ත විදුලි  උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කර ගැනීමේ ඉලක්කය සඳහා ගමන් කිරීමේ දී අමාත්‍යාංශයක් ලෙස තනිව ගමන් කිරීමේ හැකියාව තිබෙන නමුත් එම ඉලක්කය හා සම්බන්ධ අනෙකුත් සියළු අංශ ද මෙම ඉලක්කය සමඟ හැඩ ගැසිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරටට විදුලි වාහන ආනයනය කිරීමේ දී විදේශීය සැපයුම්කරුවන්ගෙන් වාහන මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනාගැනීම වැදගත්බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පුනර්ජනනීය බලශක්තිය පිලිබඳව කතා බහ කරද්දි ඒ ගැන ජනාධිපතිතුමා කතා කරනවා , අමාත්‍යාංශය කතා කරනවා . විදුලි බල මණ්ඩලය කතා කරනවා . නමුත් මෙය රටේ වැඩසටහනක් බවට පත් විය යුතුයි. අපි මේ කතා කරන ප්‍රවාහන ක්ෂේත්‍රය පමණක් නෙවෙයි ඊට සම්බන්ධ අනෙකුත් සියළුම ආයතන , සියළුම දෙපාර්තමේන්තුවල ඒ සඳහා එක් වැඩපිළිවෙළක් සකස් විය යුතුයි."

" ආණ්ඩුවේ ආයතනවල තියෙන ගමන් බිමන් එක්ක මේ වාහන ගැළපෙනවද . දැන් අපිට කිලෝ මීටර් 150 ක් 200 ක දුරක් ගිහින් ආයෙත් අපිට හැරිල එන්න පුළුවන්කම තියෙනවා ද?. ඒ සඳහා දැනට ලෝකයේ වාහන නිෂ්පාදනය වෙලා තියෙනවා ද?. නිකම් කතා කළාට වැඩක් නැහැ ප්‍රායෝගික වෙන්න ඕනිනෙ. මොන මට්ටමටද අපිට යන්න පුළුවන් කියල බලන්න ඕනි. අපේ යෝජනා නිකම් අහසේ තියෙන යෝජනා වෙන්නෙ නැතුව  ආණ්ඩුව විසින් 100%ක් විදුලි වාහන කරා ගමන් කළත් වැඩක් නැහැ ආණ්ඩුවේ අවශ්‍යතා ටික ඉටු වෙන්නෙ නැත්නම් .ඒ වගේම බස් ටික ගත්තොත් බස්වල දුර යන්න පුළුවන් ඒව තියෙනවා ද? මූලික අදියරේ දී කොළඹ අවට ධාවනය කොහොමද සිදු කරන්නේ වගේ ඇක්ෂන් ප්ලෑන් එකක් ක්‍රියාත්මක විය යුතුයි."

ඉලෙක්ට්‍රික් වෙහිකල් ක්‍රියාත්මක කරනවා නම් අදාළ මිල ගණන් සකස් කළ යුතුයි. මෙහි බදු මුදල සීරෝ විය යුතුයි. එහෙම නැත්නම් ඩීසල් වාහනවලට වඩා අවම විය යුතුයි. එහෙම වුණොත් තමයි මේක ප්‍රමෝට් කරන්න පුළුවන් වෙන්නෙ. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ වගේ යෝජනාවලියක් හැබැයි ප්‍රායෝගිකව. "

Rate this item
(2 votes)
Last modified on Wednesday, 15 December 2021 00:54

Related items