May 02, 2024

ආණ්ඩුවේ තීන්දුව අවුල් - ඇමැති දුමින්ද ජනපති ලඟට

කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට රජය ගත් තීන්දුවට දිගින් දිගටම ගොවීන්ගෙන් මතුවන විරෝධය හේතුවෙන් ඒ සඳහා ගත යුතු විසඳුම් පිලිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නායකයින් සමඟ සාකච්ජාවක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ගොවි නායකයින් පෙන්වා දුන්නේ වත්මන් රජයේ තීරණයක් වන රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා කාබනික පොහොර වලින් පමණක්ම ගොවිතැන් කිරීමට ගත් තීරණය හොඳ තීරණයක් වන නමුත් එය එක්වරම ක්‍රියාත්මක කරනවා වෙනුවට ක්‍රමාණූකූලව සිදු කළ යුතු බවයි.

අනුරාධපුර පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර ඒ සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානය රැසක ගොවි නායකයින් සහභාගී වී තිබිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

"දැන් පොහොර ඇත්තට නෑනේ, යූරියා 80% යි ගෙනත් තියෙන්නේ, 20% ක්ම ගෙනත් නෑ, මේ තීන්දුව එක්වරම ක්‍රියාත්මක වුණ නිසා පෞද්ගලික අංශය ගෙන ආ පොහොර ඒ අයම මිශ්‍ර කරලා අලෙවි කරනවා, ආණ්ඩුව කොච්චර කිව්වත් මේක නොදී ඒ අය ලාභයක් ලබන්න මේවා අලෙවි කරනවා.රට තුළ මේ කන්නයට අවශ්‍යය පොහොර තිබුණට ඒක ගොවියෝ ගාවත් නෑ,ඒක තියෙන අය ගොවියන්ට දෙන්න ලෑස්තිත් නෑ, පොහොර නැති එක එක කාරණයක් මේක දිගටම ක්‍රියාත්මක වුණොත් ඉස්සරහට මේක බලපාන්නේ කොහොමද කියන එක තව කාරණයක්. අපිට තියෙන ලොකු අවධානම ඉදිරියට මේක කර ගෙන යන්නේ කොහොමද කියන එකයි.

දැන් පොහොර නිර්දේශයේ තියෙන ප්‍රමාණයටත් වඩා අපේ ගොවිමහත්වරු පොහොර යොදනවා, අපේ විශ්වාසයක් තියෙනවා වැඩියෙන් පොහොර ගැහුවොත් වැඩියෙන් හැදෙයි කියලා. හැබැයි ගහට අවශ්‍ය ප්‍රමාණය විතරයි ගහ අවශෝෂණය කර ගන්නේ. මේ පොහොර ප්‍රශ්නයත් එක්ක බඩඉරිගු වගාව අඩු වුණොත් සත්ව අහාර හිඟ වෙනවා, එක කුකුල් පැටව් හදන, කුකුල්ලු හදන ක්ෂ්‍රේත්‍රයට බලපානවා, මස් නැති වුණාම පෝෂණය අඩු වෙනවා. එහෙම වුණාම මේක ගොවි මහත්වරු ලක්ෂයකට බලපාන දෙයක් නෙමෙයි, සමස්ථ රටටම බලපාන ප්‍රශ්නයක්.

1977 ඉඳන් මේ වෙනකල් අපේ රටේ ගොවිමහත්වරු ගෙදර කෙනෙකුට වකුගඩු අමාරුව හැදුනත්,  වැඩියෙන් පොහොර දදා වැඩි අස්වැන්නක් ගන්න හිතුවත්,පරිභෝජනය නෙමෙයි බැලුවේ වෙළඳාමයි බැලුවේ. ගොවි තැන තමයි ගොවියාගේ ආදායම, වස විස නැති කෑමත් ඕන, ඉල්ලුමට සරිලන සැපයුමකුත් අවශ්‍යය වෙනවා. තිබුණ ආදායම ලබා ගන්නේ කොහොමද?  තිබුණ අස්වැන්න ලබා ගන්නේ කොහොමද කියන ගැටලුවට විසදුම් ලබා ගැනීමයි කළ යුත්තේ. මම ජනාධිපතිතුමන්ට මේ පිළිබඳ දැනුම්වත් කරන්නම්.මේ අවස්ථාවේ 100% ක් රසායනික පොහොර භාවිතය තහනම් කිරීම වෙනුවට ක්‍රමාණූකූළව මෙය අඩු කිරීම කළ යුතුයි කියන එක ගොවීන්ගේ යෝජනාව කියලා මම ජනාධිපතිතුමන්ව දැනුම්වත් කරන්නම්." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.



Rate this item
(1 Vote)
Last modified on Wednesday, 30 June 2021 06:57

Related items