May 05, 2024

කොස්කැලේ කඩ ටික කැඩුවේ යහපාලන ආණ්ඩුව තීරණයක් නිසා - ඇමති ජොන්ස්ටන් කියයි

December 02, 2021

“කොස්කැලේ රක්ෂිතයේ ඇති ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වගකියන්න ඕනේ පසුගිය ආණ්ඩුවයි. ඒ වගේම පසුගිය ආණ්ඩුවේ අයට කඩේ යන මේ ආණ්ඩුවේ නිලධාරීනුත් මේකට වගකිව යුතුයි.” ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹ - මීගමුව මාර්ගයේ ජා - ඇල පාලම පුළුල් කර සංවර්ධනය කිරීමේ සමාරම්භය මහාමාර්ග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(02) දින සිදු කෙරිණි. එහිදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මෙම පාලම පුළුල් කිරීමේ කටයුතු සදහා රුපියල් මිලියන 214 ක මුදලක් වෙන් කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පාලමේ ඉදිකිරීම් අධීක්ෂණය කරනු ඇත.

දැනට පවතින පාලම එක් පසෙකින් පළලින් මීටර් 6 බැගින් දෙපසින් මීටර් 12 ක් පුළුල් වනු ඇත. ඒ අනුව දැනට පවතින පාලම මීටර් 26 ක් දක්වා පුළුල් වේ. එමගින් ජා - ඇල නගරයේ පවතින රථවාහන තදබදයට විසදුමක් ලැබෙනු ඇත.

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"අද කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කොස්කැලේ රක්ෂිතයේ ඇති ව්‍යාපාරික ස්ථාන ඉවත් කරනවා කියලා මාධ්‍ය හරහා අපිට චෝදනා කරනවා. ඒක අමූලික බොරුවක් මේ රජය ඒ රොටි හදලා ජීවත්වෙන මිනිස්සුන්ගේ බඩට ගහන ආණ්ඩුවක් නෙවෙයි. පසුගිය යහපාලන ආණ්ඩුව මේ කොස් කැලේ විතරක් නෙවෙයි බඩගමුව මුකලානෙ ඉන්න ව්‍යාපාරිකයෝත් එලෙව්වා. අද බඩගමුව ව්‍යාපාරිකයෝ ඉන්නේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා. එදා ඔවුන්ව කිසිම හිතක් පපුවක් නැතිව තමයි එලෙව්වේ. එම ව්‍යාපාරිකයන්ට විරුද්ධව පසුගිය යහපාලන ආණ්ඩුව උසාවි ගියා. උසාවියෙන් තීන්දුවක් දීලා තියනවා ඔවුන්ව එතනින් අයින් කරන්න. නමුත් අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමෙදි තීන්දුවක් ගන්නවා ඒක ක්‍රියාත්මක නොකරන්න. අපි තීරණය කලා නැවත උසාවියට ගොස් මේ සම්බන්ධව තීරණයක් ගන්න. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අපි උපදෙස් දුන්නා උසාවියට ගිහින් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කර මේ අය එතනින් ඉවත් නොකිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට.

ඔවුන්ව ඉවත් නොකිරීමට උපදෙස් ලබා දී තියෙද්දීත් තමයි ඔවුන් දවස් දෙකකට කලින් ඔවුනට අයින් වෙන්න උපදෙස් දීලා, ඊයෙ දිනයේ දි ගිහිං අහිංසක මිනිස්සුන්ගේ ව්‍යාපාරික ස්ථාන දේවල් කඩලා අයින් කිරීමට කටයුතු කලා. ඒ ජනතාව අපිට චෝදනා කලේ අපි මංතීරුවක් හදන්න මේ ව්‍යාපාරික ස්ථාන ටික අයින් කරනවා කියලා. කොස්කැලේ සහ බඩගමුවේ ව්‍යාපාරිකයන්ට නවීන පන්නයේ කඩ ලබා දෙන ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරනවා. අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යන අතරතුර ඒක කඩාකප්පල් කරන්න තමයි පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ගත්ත තීරණයට අනුව මේ කඩවල් ටික කැඩුවේ. මේකට වගකියන්න ඕනේ පසුගිය ආණ්ඩුව ඒ වගේම පසුගිය ආණ්ඩුවේ අයට කඩේ යන මේ ආණ්ඩුවේ නිලධාරීනුත් මේකට වගකියන්න ඕනා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හැටියට මම ඉල්ලීමක් කලා වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා. මම ඕන තැනක අභියෝග කරනවා, අපේ රජය අපේ ජනාධිපතිතුමා මන්තීරු හදලා රොටී හදන මිනිස්සු එළවන ජනාධිපතිවරයෙක් නෙමෙයි, ආණ්ඩුවක් නොවෙයි කියන එක අපි ඉතාමත්ම ආදරයෙන්,ගෞවරයෙන් මේ වෙලාවෙදි මතක් කරනවා. ඒ නිසා බොරුව රජ වෙන්න දෙන්න එපා. මාධ්‍යයෙන් ඉල්ලනවා ඇත්ත මේ රටේ ජනතාවට හෙළි කරන්න කියලා. ඒකයි අපි ඉල්ලන්නේ." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 18:47

Related items