May 05, 2024

ආණ්ඩුව දෙබිඩි රංගනයක - සජිත් පියා ගැනත් සිහි කරයි

November 24, 2021

ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියා සිටියේ ක්‍රමානුකූලව වසර 10 කින්  කාබනික වගාවට ශ්‍රී ලංකාව යොමු කරන බව වුවත් මේ වන විට ඒ සියල්ල උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැයට අනුව සහන හිමි වන්නේ කාබනික පොහොරවලින් වගා කරන ගොවීන්ට පමණක් බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ රටේ ගොවි පරපුරට ආණ්ඩුව  මෙතරම් ද්‍රෝහී වන්නේ මන්දැයි ප්‍රශ්න කළා.

තිස්සමහාරාමයේ වනසපුගල ප්‍රදේශයේ ජනතා ගැටලු විමසන "නගරයෙන් නගරයට ගමින් ගමට  දොරින් දොරට" වැඩසටහනේ තවත් අදියරක් අද (24) පැවැත්වුණා. එහිදී එම ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන ගැටලු පිලිබදව කරුණු රැසක් පිලිබදව විපක්ෂ නායකවරයා සිය අවධානයට ගනු ලැබූ බව විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළා.

ගොවිජනතාවට වන්දි ගෙවන්නට අයවැයෙන් එක රුපියලක් වෙන් කොට නැතිබව කී විපක්ෂ නායකවරයා ආණ්ඩුව රෑට පොහොර තහනම ඉවත් කළා කියා, උදේට එහෙම තීන්දුවක් අරන් නෑ කියන බවත්, හවසට තවත් එකක් කියන අතරේ රිවස් කරන ගැසට් ගසන බවත් පැවසීය.

වසවිසෙන් තොර කෘෂිකර්මාන්තය දියුණු කරන්න යැයි කියා රු.මිලියන 4000ක් වෙන් කොට ඇති බව කියන ආණ්ඩුව කාබනික වගාවේ වල්නාශක ඉවත් කරන්න හෙක්ටයාර දෙකකට රු 5000 ගානේ දෙන බව කියා ඇතැයිද ඔහු පෙන්වා දුන්නා. 

ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය රු.මිලියන 35000ක් වෙන් කරන අතරේ රසායනික පොහොර ගෙන්වන්න පෞද්ගලික ආයතනවලට අවසර දෙන්නේ මන්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.

ඒ සියල්ල  අතරේ ජනාධිපති නිවේදනය තුල රටේ ක්‍රියාත්මක වන්නේ තවදුරටත් කාබනික කෘෂිකර්මාන්ත ප්‍රතිපත්ති බව පවසමින් ආණ්ඩුව දෙබිඩි රංගනයක යෙදෙන බව විපක්ෂ නායකවරයා කියා සිටියා.

සිය පියාගේ වැඩපිළිවෙල ගැන අදහස් පළ කරමින් විපක්ෂනායක වරයා පැවසූවේ ආණ්ඩුව ගමට නගරයට ගෙනියන වැඩපිළිවෙළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් බවයි.

ඒ ජනතාවාදී වැඩපිළිවෙළ සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 November 2021 16:00