May 02, 2024

ඛේදවාචකය පාර්ලිමේන්තුවටත් : දෙපැත්තම ඇඟ බේරගන්න කතා කරයි

November 24, 2021

කින්නියාවේ පුළවන්කන්නී කලපුවේ සිදු වූ මාරාන්තික පාරුපව පෙරලීමේ අනතුරේ වගකීම ආණ්ඩුව හා විපක්ෂය අනෙකාගේ පැත්තට දැමීමට පාර්ලිමේන්තුවේදී කටයුතු කලා.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා කතා කරමින් සඳහන් කරන්නේ 6 දෙනෙකුට මරු කැඳවමින් කලපුවේ පෙරළුණු පාරුව නීති විරෝධීව ක්‍රියාත්මක කළ එකක් බවටයි.

ඒකමතික තීන්දුව

පාරුව පෙරළුණු කලපුව හරහා පාලමක් ඉඳිකර දෙන ලෙස එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් තිබූ බව පෙන්වා දෙන ලංසා රාජ්‍ය අමාත්‍යවරයා යහපාලන ආණ්ඩු සමයේද ඊට මුල් ගල තැබූ මුත් එහි වැඩ කටයුතු ආරම්භ නොවූ බව පෙන්වා දුන්නා.

තමාද එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත පාලමක් ඉදිකිරීම සඳහා මේ වර්ෂයේ අප්‍රේල් මස එහි ගොස් මුල්ගල තැබූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඒ ආණ්ඩුවට සහාය දෙන තවුෆික් මන්ත්‍රීවරයාගේ ඉල්ලීමකට අනුව බවත් ලංසා මහතා සඳහන් කළා.

පාලම හදා දෙන තුරු කිලෝ මීටර් තුන හමාරක් එපිටින් තිබෙන මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස පාවිච්චි කිරීමට එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට රැස් වූ සියලුම දේශපාලන නියෝජිතයින් ඒකමතිකව තීරණය කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

පාලම හදා අවසන් වන තුරු කලපුව හරහා පාරුවක් දැමීමට කින්නියා ප්‍රාදේශීය සභාව හා නගර සභාව මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ඉල්ලූ බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා පාරුවක් දැමීමට අවසර නොදෙන බව ඔවුනට ඉතා පැහැදිලිව දැනුම් දුන් බවත් පෙන්වා දුන්නා.

ජනතාවගේ ඉල්ලීම

එහෙත් පාලම හදන තුරු බෝට්ටු සේවාවක් අවශ්‍ය බව ඒ ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කිරීම නිසා පාලම හදන කොන්ත්‍රාත්කරු සමගත් කතා කර ආරක්ෂිත ක්‍රමවේදයන් සමග බෝට්ටු සේවාවක් දැමීම සඳහා ඉකුත් ජුලි 14 එකඟතාවය පළ කර තිබූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරන්නේ.

එහෙත් කින්නියා නගර සභාව තමන්ට නැති බලයක් උපයෝගී කරගෙන කෙටි මාර්ග වලින් මුදල් හම්බ කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුට පාරුවක් දැමීම සඳහා අවසර ලබාදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කින්නියා නගර සභාව කර තිබෙන්නේ තමන්ට අයිති නැති වැඩක් බව ලංසා මහතා සඳහන් කරනවා.

නගරාධිපතිගේ ඥාති සම්බන්ධතා

කින්නියා නගරාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉම්රාන් මහරූෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනා බවත් එම බෝට්ටු සේවාව පවත්වාගෙන ගියේ ඔහුගේම ඥාතියෙකු වන රියාස් නමැත්තෙකු බවත් ලංසා මහතා සභාවට හෙළි කළා.

ඒ නිසා සිදුවූ මරණවල වගකීම කින්නියා නගර සභාවේ ගත යුතු බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා වහාම කින්නියා නගරාධිපතිවරයාව එම ධූරයෙන් ධූරයෙන් ඉවත් කරන ලෙස නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් ද කළා.

සමගි ජන බලවේගයේ පාර්ශ්වයෙන් ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සිද්ධියට වගකිව යුතු අයෙක් සිටී නම් තරාතිරම නොබලා දඬුවම් කරන ලෙසත් කලපුව හරහා ඉදි කිරීමට මුල්ගල තැබූ පාලම හැදෙන්නෙ නැතිව කල් යෑම මත මෙම අනතුර සිදු වූ බවයි.

ඒ ප්‍රකාශයෙන් උරණ වූ නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාලම් හැදිල්ල ආවට ගියාට කළ නොහැකි බවත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් තිබෙන බැවින් ඒ සඳහා කාලයක් ගතවන බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 November 2021 14:14