May 05, 2024

පාලම් පාරුවේ හිමිකරුවන් පලා යයි

November 24, 2021

ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ - කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පත් කළ කමිටුව අද (24) රැස්වීමට නියමිතයි.

එහිදී මෙම සිදුවීමට අදාළව නිලධාරීන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, පාලම් පාරුවේ හිමිකරුවන් ලෙස සැලකෙන පුද්ගලයින් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ - කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී දරුවන් ඇතුළු හයදෙනෙකු මියයෑමත් සමග ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු සඳහන් කළේ සමගි ජනබලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස් තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසට පහරදුන් අය මෙන්ම ඇතැම් රාජ්‍ය දේපලවලට හානි කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ඊයේ (23) සිදු වූ මෙම අනතුරෙන් මියගිය 6 දෙනාගෙන් පස්දෙනෙකුම පවුල් දෙකකට අයත් පුද්ගලයන්.

කින්නියා කලපුව හරහා ඇති පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකරමින් පැවතීම හේතුවෙනුයි ප්‍රදේශවාසීන් කලපුව හරහා ගමන් කිරීමට මෙම පාලම් පාරුව යොදාගෙන ඇත්තේ.

ඊට නගර සභාවේ අනුමැතිය ලබාගෙන තිබුණේ මීට මාසයකට පෙරයි.

ඊයේ (23) උදෑසන 7.30ට පමණ පාලම් පාරුව අනතුරට ලක්වූ අතර, එම අවස්ථාව වනවිට එහි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිටියා.

පාලම් පාරුව පෙරළීමෙන් පසු ප්‍රදේශවාසීන් කින්නියා නගරයේ බුහාර් මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරත වූ අතර, එහිදී ඔවුන් ටයර් ද ගිනි තබනු ලැබුවා.

ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ - කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු අදාළ ප්‍රදේශය හරහා අද (24) සිට ශ්‍රී ලංගම බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

කාකමුනෙයි සිට නඩතිව්, කුරින්චාකර්නි හරහා කින්නියා දක්වා මෙම බස් සේවාව ක්‍රියාත්මක කරන බවයි කින්නියා ඩිපෝව සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද ආරම්භ කළ මෙම බස් රථ සේවාවට ප්‍රදේශවාසීන් විරෝධය දක්වන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 November 2021 13:03