May 11, 2024

සෙවිලි තහඩු මිලත් ගණන් යයි

November 08, 2021

මාස කිහිපයක් තිස්සේ හිඟව පැවති බෙදා හැරීම් සම්පූර්ණයෙන්ම නැවතී තිබූ ලාෆ් ගෑස් යම් මට්ටමකින් දඹුල්ල නගරයේ අද (08) දින බෙදාහැරීම් ආරම්භ කළ ද කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 985 කින් වැඩි කොට අලෙවි කිරීම සිදු වෙන බව වෙළෙන්දෝ පවසනවා.

දඹුුල්ල ප්‍රදේශයේ බොහෝ නිවෙස් වල මෙන්ම ව්‍යාපාරික ස්ථානවල ද මාස ගණනාවක් තිස්සේ ලාෆ් ගෑස් සිලින්ඩර හිස්ව පැවතුණා. ගෑස් බෙදා හැරීමේ ස්ථානය මගින් දඹුල්ල ප්‍රදේශයේ වෙළඳසැල් වලට ගෑස් සීමිත ප්‍රමාණයක් ලබා දී තිබුණු අතර ඒවා බාන අවස්ථාවේම අවසන් වූ බව ගෑස් අලෙවි කරන පිරිස් පවසනවා.

ගෑස්  සිල්ලරට අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියේ මීට පෙර කිලෝ 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1900කට අලෙවි කළ බවයි. එහෙත් අද (08) දින දෙන සීමිත ගෑස් ප්‍රමාණය එම සිලින්ඩරය 2885කට අලෙවි කිරීම සිදුවන බව ද මිල වැඩි කළ ද සිල්ලර අලෙවි කරන අයට  ලැබෙන මුදල රුපියල් 60කට ආසන්න මුදලක් බව ඔවුන් කියා සිටිනවා.

එමෙන්ම දඹුල්ල නගරයේ කිසිදු වෙළදසැලක සිමෙන්ති අලෙවි කිරීමට නොමැති බව පාරිභෝගිකයෝ පවසනවා. හාඩ්වෙයාර්, වෙළඳසැල් වලට ගොස් සිමෙන්ති විමසීමේ දී බොහෝ ස්ථානවල සිමෙන්ති නොමැති බවත් සිමෙන්ති තිබේදැයි ඇසීමෙන් වළකින ලෙසත් දැන්වීම් පුවරු සවිකර තිබීම විශේෂත්වයක්.

ගොඩනැගිලි ද්‍රව්‍ය රැසක මිල ද ඉහළ ගොස් ඇතැයි වෙළඳසැල් හිමියෝ පවසනවා. ඇස්බැස්ටෝස් අඩි 12ක සෙවිලි තහඩුවක් රුපියල් 1000කට ආසන්න මුදලකින් ඉහළ ගොස් තිබෙන බවද සෙවිලි තහඩු ද උග්‍ර හිගයක් පවතින බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා. යකඩ ඇතුළු සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය අසීමිත ලෙස නිෂ්පාදකයන් විසින් ඉහළ දමා තිබෙන බවද ඔවුන් පවසනවා.

ඇතැම් පාරිභෝගිකයන් මෙම ආයතන හිමි හිමිකරුවන් සමඟ ආරවුල් ඇතිකර ගන්නා බවත් ඔවුහු පවසනවා. පාරිභෝගික ජනතාව මෙහිදී කියා සිටියේ වහාම ආණ්ඩුව කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය ඉවත් වී මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට රට බාර දී එම අයගේ ව්‍යාපාර කටයුතු මැති ඇමැතිවරුන් විසින් සිදුකල යුතු බවයි.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

 

Rate this item
(7 votes)
Last modified on Monday, 08 November 2021 20:00