May 18, 2024

ගුරුවරුන්ගේ සත්‍යග්‍රහයට ප්‍රහාරයක්! ඇමති වීරසේකරටත් චෝදනා (VIDEO)

ඊයේ (26) දිනයේ ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණ සඳහා වෙන්කර ඇති ස්ථානයේ සත්‍ය ග්‍රහයක් ආරම්භ කර සිටි රජයේ ගුරු සංගමයේ පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබුණා.

එහිදී ගුරු සංගම් නියෝජිතයන් පවසා සිටියේ ඊයේ පැවැති මෙම සත්‍ය ග්‍රහයට අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පොලීසිය යොදා අඛණ්ඩ සත්‍යග්‍රහයට පහර දුන් බවයි.

එහිදී පොලිස් නිලධාරින් පැමිණ සත්‍ය ග්‍රහයේ නිරතව සිටි පිරිස ඉදිකර තිබූ තාවකාලික කූඩාරම ඉවත් කිරීමට කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසදීමට ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා  මැදිහත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය විසින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

එහිදී එම සංගමය විසින් චෝදනා කර තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ගේ උපදෙස් පවා නොකතමින් පාසල් ආරම්භ කිරීමට ආණ්ඩුව ගත් නොමනා තීන්දුවට තමන් දැඩි ලෙස විරෝධය දක්වන බවයි.

එමෙන්ම ඉදිරි අයවැයට ප්‍රථම ආණ්ඩුව පොරොන්දු වූ පරිදි වැටුප් වර්ධකය එකවර ලබාදී මෙම ගැටලුව වහා විසදීමට ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු මැදිහත්වනු ඇතැයිද ඔවුන් අපේක්ෂා කරන බව ගුරු සංගමය පවසා සිටියා.

පොලිස් නිලධාරීන් විසින් උද්ඝෝෂණයේ නිරතව සිටි අයව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ගුරු සංගම් නියෝජිතයන් අද (27) දිනයේ ද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබුණා.

අදාළ පහර දෙන අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 10:23

Related items