April 28, 2024

"සාකච්ඡා කර තීරණය කියන්නම්" - අස්ගිරි මහනාහිමියෝ සජබ මන්ත්‍රීන්ට දන්වයි

September 27, 2021

කෙළවරපිටිය යුගදනව් විදුලි බලාගාරයේ රජය සතු කොටස් වටිනාකමින් 40% ක් ඇමරිකාවට ලබාදීම සඳහා වන ගිවිසුම සම්බන්ධව අස්ගිරි මහ විහාරීය සංඝ සභාව රැස්කර නිසි අධ්‍යන්‍යයක් සිදු කිරීමෙන් පසු ප්‍රකාශයක් සිදුකරන බව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසනවා.

මෙම අවස්ථාව් අභියෝග රැසක් රට හමුවේ තිබෙන බවත් ඒ සියල්ල නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් රට ඉදිරියට ගෙන යායුතුව තිබෙන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

මහනාහිමියෝ එසේ පැවසුවේය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් අද (27) පෙරවරුවේ අස්ගිරි මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, ජේ.සී අලවතුල, මුජිබර් රහුමාන්,‍ රෝහණ බණ්ඩාර, අජිත් පී. පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.                                                                                                                               

යුගදනව් විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම මඟින් රටට සිදුවන හානි පිළිබඳ කරුණු අඩංගු ලියවිල්ලක්ද මෙම පිරිස ‍මෙහිදී  මහනාහිමියන්ට  පිළිගන්වනු  ලැබුවා.

රටට යම් අයහපතක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුව නිවැරදි මාවතට යොමු කිරීම විපක්ෂයේ කාර්යභාරය බවත් අදාළ ගිවිසුම මඟින් යම් හානියක් සිදුවන්නේ නම් ඒ ගැන ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගැනීම අගය කරන බවත් මෙහිදී අස්ගිරි මහනාහිමියෝ ප්‍රකාශ කළා.

මෙම ගිවිසුම සම්බන්ධව මාධ්‍ය මඟින් දක්වන කරුණු හැරෙන්නට එහි අන්තර්ගතය සම්බන්ධව නිසි අවබෝධයක් නොමැති නිසා ඒ ගැන රටට ප්‍රකාශයක් කිරීම සංඝ සභාව රැස්කාර සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදුකරන බවද උන්වහන්සේ පැවසුවා.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිස මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

 එහිදී අනුශාසනාවක් කළ උන්වහන්සේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට බරපතල ගැටලු රැසකට මුහුණ දී සිටින බවත් විදේශ විනිමය නොමැති වීම ඒ අතරින් ප්‍රධාන බවත් ප්‍රකාශ කළා.

මේවන විට ලෝකයේ බලගතු රටවල් අතර ආර්ථික කටයුතු සම්බන්ධයෙන් දැඩි තරඟයක් නිර්මාණය වී තිබෙන බවත් මේවාහි යම් යම් බලපෑම්වලින් අපටද මිදිය නොහැකි වී තිබෙන බවත් උන්වහන්සේ එහිදී අවධාරණය කළා.

(කේ .එල් .සුරවීර - මහනුවර)

Rate this item
(0 votes)

Related items