April 28, 2024

ජීවිතේ පළවෙනි වතාවට මම විමල් එක්ක එකඟයි - හිටපු ඇමති අජිත්ගේ හිත වෙනස් වෙයි

December 19, 2021

ජීවිතයේ පලවෙනි වතාවට යම් කාරණාවක් සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇමතිතුමා සමග එකඟතාවයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍ය මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

සාමූහික වගකීම කඩ කිරීම ගැන විමල් වීරවංශ මහතා කියන කතාව 100%ක් නිවැරදි බව ද ඒ මහතා සඳහන් කරනවා.

ඒ මහතා මෙම අදහස් පළ කලේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා,

"ජීවිතයේ පලවෙනි වතාවට යම් කාරණාවක් සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇමතිතුමා සමග එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. සාමූහික වගකීම කඩ කිරීම ගැන විමල් වීරවංශ මහතා කියන කතාව 100%ක් නීතියට හරි. අමාත්‍ය මණ්ඩලය තුළ එකඟ වෙච්ච කාරණයක් ගැන ඉල්ලා අස්වෙන්නේ නැතුව එලියට ඇවිල්ලා විරුද්ධව කතා කරන්න බෑ. ඒක තමයි පාර්ලිමේන්තුව සම්ප්‍රදාය. හැබැයි අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා නොකර එකඟ වූ බවට ව්‍යාජ සටහනක් යොදලා බොරු සටහනක් යොදලා යම් කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බව ප්‍රකාශ කරනවා නම් ඒක කැබිනට් එක ඇතුලේ වෙච්ච දෙයක් නෙවෙයි. කැබිනට් එක ඇතුලෙ වෙච්ච නැති දෙයක් වුනේ නැහැයි කියලා කියන එක සාමූහික වගකීම කඩ කිරීමක් නොවෙයි. බ්‍රිතාන්‍ය වගේ රටක නම් මේක සිද්ධ වෙන්නේ නෑ. මොකද කවදාවත් දැන් අවුරුදු හයසීයක් විතර එංගලන්තයට ප්‍රජාතන්ත්‍රවාදය කවදාක්වත් එහෙම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොකර කරපු දේවල් අනුමත වුණා කියලා එළිය ගිහිල්ලා කතා කරන්නේ නැහැ. නමුත් මේ රටේ එහෙම නෑනේ. මේක අමුතු රටක්නේ. මේ රටේ ජනාධිපතිවරු, මුදල් ඇමතිවරු තමන්ගේ රටේ තියෙන පරිපාලන පිළිබඳ කාරණාවලදී අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ රබර් සීල් විදියට හිතන්නේ. සමහර දේවල් කිසිසේත් සාකච්ඡා කරන්නේ නැතුව ඇමතිවරුන්ට දෙන්නෙ නැතුව ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න වෙලාවක් දෙන්නෙ නැතුව සීල් එක විතරක් ගහගන්න ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා."

"හැබැයි යුගදනවි සහ එල් එන් ජී සැපයීමේ ඒකාධිකාරය නිව් ෆෝට්‍රස් එන්ජි සමාගමට පාවා දීම පිළිබඳ මේ කාරණය කැබිනට් මණ්ඩලයට විධිමත් ලෙස ඉදිරිපත් වුණේවත් නෑ. සාකච්ඡා වුණේ නෑ. අනුමත වූ බවට වූ සටහනක් පමණක් කැබිනට් ලේකම් යොදලා තියෙනවා. ඒ නිසා විමල්, ගම්මන්පිල, වාසුදේව ඇමතිවරු මෙතන කියන කතාව සාමූහිකත්වය කඩ කිරීමක් නෙවෙයි. මොකද සිදු නොවූ දෙයක් සිදු නොවුණු බව තමයි ඔවුන් කියන්නේ. ඒක නිසා විමල් වීරවංශ මහතාගේ තර්කය හරි. නීතිපතිගේ ස්ථාවරය වැරදියි. ඒ විතරක් නෙවෙයි සිද්ධිමය කරුණු හැටියට සාක්ෂි මය කරුණු හැටියට කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය දරන මේ ඇමතිවරු කියනවා නම් මෙහෙම දෙයක් සාකච්ඡා වුණේ නෑ කියලා ඒක සනාථ කරන්න තවත් සාධක තියෙනවා නම් බලශක්ති පිළිබද විෂයභාර ඇමැතිවරයා මේක දන්නේ නැත්නම්, විදුලිබල විෂයභාර පිලිබඳ ඇමතිවරයා මේක දන්නෙ නැත්නම් සම්පූර්ණ පරිබාහිරව මුදල් ඇමැතිවරයා භාණ්ඩාගාරයෙන් නියෝජිත හැටියට ගිහිල්ලා හොරෙන්ම මෙහෙම දෙයක් කරනවා නම් ඒක වංචාවක්, පාවාදීමක්. ශ්‍රේෂ්ඨාධිකරණය හා අනෙක් අධිකරණ වල දී ඒ පිළිබඳ අභියෝග කරන වගේම මහ පාරෙදි මීට එරෙහිව අරගල කරන්න ඕන. නීති අනුව මේක අවලංගු කර ගන්න පුළුවන්නම් අපිට වඩා හොඳයි. අපිට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ නැතිනම් අපිට යුක්තියක් ඉටු වෙන්නෙ නැතිනම් ආණ්ඩුව නම්‍යශීලී නැති වෙනවා නම් මහ පාරට බැහැලා හරි වෙන වෘත්තීය ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා හරි අපි අපි වෘත්තිය සමිති ජනතාවත් සමග එකතුවෙලා මේ රටේ බලශක්ති සුරක්ෂිතාව ඇමරිකානු සමාගම පවරාදීමේ මේ උත්සාහය අපි පරාජයට පත් කරනවා කියන කාරණය අපි කියනවා."යනුවෙන්ද ඒ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 December 2021 22:59