April 25, 2024

නියෝජ්‍ය මහ කොමසාරිස් අස්ගිරි මහා නායක හිමි හමුවෙයි - ඝාතනය වූ ප්‍රියන්ත ගැනත් කතා කරයි

December 19, 2021

පකිස්ථානයේ නියෝජ්‍ය මහ කොමසාරිස් තනිවීර් අහමඩ් මහතා ඊයේ (18) පස්වරුවේ අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැක පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ විශේෂ ස්තුතියක් නාහිමියන් වෙත පිරිනමනු ලැබුවා.  

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ සහකාර මහ කොමසාරිස්වරයා මෙසේ අදහස් පළ කරනු ලැබුවා.

"මම ආවේ විශේෂ ස්තූතියක් කරන්න අස්ගිරි පාර්ශවයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මට විශේෂයෙන් දැනුම් දුන්නා අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමට යන ලෙස. සියල්කොට්හි සිදු වූ අවාසනාවනත් සිදුවීම අපි හැමෝම දන්නවා. එහිදී අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයා ඝාතනයට ලක්වුණා. පකිස්තාන අගමැතිවරයා ප්‍රමුඛ රජය එම අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග අගය කරමින් අස්ගිරි මහ නාහිමියන් පකිස්තාන අගමැතිවරයාට ලිපියක් යොමු කළා. එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කළා. මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබදව මහ නාහිමියන් දැනුම්වත් කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නා."

"සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරත්දී අනෙක් පසින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කළා. පකිස්තානය මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග උන්වහන්සේ යළිත් අගය කළා. පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර 1948 සිට විශාල මිත්‍රත්වයක් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන්ද අපේ රටවල් දෙක අතර ලොකු බැඳීමක් තිබෙනවා. ආගමික බැඳීමක් තිබෙනවා. පකිස්තාන සියලුම ජනතාව මේක හෙළා දැක්කා. මේක අපේ දෙරටේ සහෝදරත්වය පළුදු වීමට හේතුවක් නොවෙයි. විශේෂයෙන් පකිස්තානයේ කාන්තාවන් පවා ඉදිරියට පැමිණ මෙයට ප්‍රසිද්ධියේ  දැක්වූවා. ශ්‍රීලංකාවට සමාවෙන්න කියලා කිව්වා. මේක හුදකලා සිදුවීමක්. පකිස්තාන අගමැතිවරයා නීතිය තදින් ක්‍රියාත්මක කළා. මේක අපේ බැඳීමට ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකා රජය පවා පකිස්තාන රජය ගත් ක්‍රියාමාර්ග අගය කළා. පකිස්ථාන ඉතා ආරක්ෂිත රටක්. එහි පැමිණීමට බිය විය යුතු නැහැ. ශ්‍රීලංකාවේ සියලු දෙනාට ආරක්ෂාව තහවුරු කර තිබෙනවා."    

(මහනුවර - කේ .එල්. සුරවීර)                                              

                                                               

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 December 2021 22:58