May 18, 2024

ත්‍රස්තවාදය වැළැක්වූ ලෙසම ගුරු වර්ජනය වළක්වන්න යන සරත් (VIDEO)

September 18, 2021

වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයන් විසින් මරණ තර්ජන කරන බවට වාර්තා වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරනවා.

රජයේ ප්‍රධාන පාසල් කිහිපයක ගුරුවරුන් තමා හමුවී මේ දැනුම්දී ඇතැයි පැවසූ ඔහු එවැනි ආකාරයේ තර්ජනය කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම දඬුවම් දෙන බවද පවසා සිටියා.

ගුරුවරුන් වැඩි පිරිසක් වර්ජනයට සහභාගී වන්නේ ස්ව කැමැත්තෙන් නොව වෙනත් පුද්ගලයන්ගේ බල කිරීම මත බවත් දරුවන්ට ආදරේ කරන වැදගත් ගුරුවරුන් බහුතරයක් සිටින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා වර්ජනයේ නිරත නොවන ගුරුවරුන්ට තර්ජනය කළහොත් දුරකථන අංක 118 හෝ 119 අමතා පැමිණිලි කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

එහිදී අමාත්‍යරයා ප්‍රකාශ කර සිටියේ,

"ඊයේ දින දිවයිනේ ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරු ගුරුවරියන් රැසක් මා හමුවන්නට ආවා. ඔවුන් ඇවිත් කිව්වේ ඔවුන් මේ ගුරු වර්ජනයට සහභාගී නොවී ළමයිට ඔන්ලයින් ක්‍රමයට උගන්වනවා. ඒ ලෙසට උගන්වන ගුරුවරුන්ට වර්ජනය මෙහෙය වන සමහර අයගෙන් මරණීය තර්ජන එල්ලවෙනවා කියා. මේ වර්ජනයට සහභාගී වන බොහෝ ගුරවරු ඊට සහභාගී වන්නේ ස්ව කැමැත්තෙන් නොවෙයි. කාගෙවත් බල කිරීමකට. සමහර වැදගත් දරුවන්ට ආදරේ කරන ගුරුවරු තවමත් මේ වර්ජනයට සහභාගී නොවී දරුවන්ට උගන්වනවා. මම ඒ වෙලාවෙම අදාළ දුරථකන ඇමතුම්වල විස්තර අරගෙන අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට යොමු කළා වහාම ඒ පිළිබඳව ඒ වගකිව යුතු පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට.  

අපි දන්නවා අපි ත්‍රස්තවාදය විනාශ කළා. ත්‍රස්තවාදය විනාශ කරනකොට අපේ දැක්ම වුණේ ත්‍රස්තවාදය ඇතිවෙන්න වුණු හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් අපි ත්‍රස්තවාදය කවදාවත් සාධාරණය නැහැ මොකද එකෙන් ඝාතනය වුණේ අහිංසක මිනිස්සු. ඒ වගේම තමයි ගුරුවරුන්ගේ ප්‍රශ්නය මේ ගුරුවරුන්ගේ වර්ජනය හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් අපි ඒ වර්ජනය සාධාරණය කරන්නේ නැහැ මොකද එකෙන් බැට කන්නේ එකෙන් අහිංසක දරුවන්ගේ දැනුම එකෙන් සම්පුර්ණයෙන් මොට කරලා ඔවුන්ගේ අනාගතය විනාශ කරන නිසා. ඒ නිසා මේ වර්ජනයට ඉතාම සහභාගී වන අයට මම ඉතාම ආදරයෙන් කියන්නේ කරුණාකරලා මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ බලපෑමට මේ වර්ජනය කරන්න එපා ඒක දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන නිසා.." 

මෙවර  5 වසර ශිෂ්‍යත්ව, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට තවමත් වාර විභාග පවත්වා නැති බවත් පෙන්වාදුන් වීරසේකර මහතා සෞන්දර්ය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නැති නිසා ප්‍රතිපල නිකුත් කිරීමට නොහැකිවී ඇතැයි පැවසීය. මෙසේ දූ දරුවන්ගේ අනාගතය අඳුරු නොකරන ලෙස ගුරුවරුන්ගෙන් ඔහු ඉල්ලීමක් ද කළේය.

අමාත්‍යවරයා කළ සම්පුර්ණ කතාව,

Rate this item
(1 Vote)
Last modified on Saturday, 18 September 2021 11:19

Related items