May 12, 2024

තවත් ගෑස් හිඟයක් ගැන ඉඟියක්!

September 09, 2021

හිඟය ගැන ඉඟිය

පසුගිය දිනවල අතිශයින් කතාබහට ලක් වූ ලාෆ් ගෑස් සමාගම තවදුරටත් මූල්‍යමය අර්බුධකාරී වාතාවරණයක පවතින බව වාර්තා වෙනවා.

රට තුළ පවතින ඩොලර් හිඟය, ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ආදියෙහි වියදම් අධික වීම මීට හේතු වී ඇති බව සඳහන්.

මෙම තත්ත්වය හමුවේ ලාෆ් ගෑස් සමාගම දිගින් දිගටම පාඩු ලබමින් සිටින බව යි පැවසෙන්නේ.

එම සමාගමෙහි සභාපති් ඩබ්. කේ. එච්. වෑගපිටිය මහතා ඒෂියන් මිරර් අප සමග පැවසූවේ පවතින මිල ගණන්වලට ගෑස් අලෙවි කිරීම ද සිදුවන්නේ පාඩු පිට බව යි.

මෙම මිල ගණන් යටතේ දිගුකාලීනව ගෑස් සැපයීම සිදු කිරීමට ද අපහසු බව ඔහු සඳහන් කළා.

එම තත්ත්වය යටතේ ඉදිරි අනාගතයේ ද යළි ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවට ද සභාපතිවරයා ඉඟි පළ කරමින් පැවසුවා.

ගෑස් හිඟය

ඩොලර් සංචිත හිඟය හේතුවෙන් ගෑස් ආනායනය සීමා කිරීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කිරීමත් සමග පසුගිය මාසයේ ද දිවයින තුළ ගෘහස්ත ගෑස් හිඟයක් හටගත්තා.

එම සමාගමෙහි පමණක් නොව ලිට්‍රෝ සමාගමෙහි ගෘහස්ත ගෑස් සිලින්ඩර ද හිඟ වූ බව යි නිරීක්ෂණය වූයේ.

උද්ගත වූ තත්ත්වයත් සමග පසුගිය මාසයේ මැද දී ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 363කින් ද, කිලෝග්‍රෑම් 05ක සිලින්ඩරය රුපියල් 145කින් ද මිල ඉහල නැංවීමට රජය අවසර ලබා දුන්නා.

එහෙත් ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ රජය ඉහළ නැංවීමට අවසර ලබා දුන් මිල ප්‍රමාණවත් නොවන බව යි.

කෙසේ වෙතත් ලාෆ් සමාගම සිය කටයුතු යළි ආරම්භ කළ නමුත් එම සමාගමට අයත් ගෑස් සිලින්ඩරවල දැඩි හිඟයක් රට පුරා මේවන විටත් පවතිනවා.

දැන් ඉල්ලන දේ

මෙවන් තත්ත්වයක් හමුවේ ලාෆ් ගෑස් සමාගම විසින් තවත් ඉල්ලීමක් සිදු කොට තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඔවුන් ඉල්ලා ඇත්තේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය තවත් රුපියල් 291කින් මිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙසට යි.

එපමණක් නොවන කිලෝග්‍රෑම් 05ක සිලින්ඩරයේ මිල ද තවත් රුපියල් 114කින් ඉහළ නැංවීමට ද එම සමාගම අවසර ඉල්ලා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වන මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා.

මිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලීමක් සිදු කර ඇති බව ලාෆ් ගෑස් සභාපතිවරයා ද අප සමග තහවුරු කළා.

කෙසේ වෙතත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එය සාමාන්‍යයෙන් මාසිකව සිදු කෙරෙන මිල ඉල්ලීමක් බව යි.

මිල වෙනස් වෙන හැටි

මේවන විට කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරය රුපියල් 1856ක් වන අතර, කිලෝග්‍රෑම් 05 සිලින්ඩරයේ මිල රුපියල් 743 ක්.

ලාෆ් සමාගමේ ඉල්ලීම්වලට අවසර ලබා දුන හොත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉතා ඉහළ අගයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2147 දක්වාත්, කිලෝග්‍රෑම් 05ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 858 දක්වාත් ඉහළ යනු ඇති.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 09 September 2021 17:01