May 21, 2024

වෙන කවුද මම තමයි ක්‍රීඩාවට හොඳටම කළේ - එස්.බීගෙන් ආණ්ඩුවට පණිවිඩයක්

1994 - 2002 මෙරට මෑත කාලීන ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම කාල සීමාවයි.

ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීම, සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් ක්‍රීඩා උලෙළකදී පදක්කමක් දිනා ගැනීම, ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීම මෙන්ම 2002 ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් හයක් දිනා ගැනීම එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව ලත් විශිෂ්ට ජයග්‍රහණ අතර තිබුණා.

එම කාලයේ මෙරට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියේ එස් බී දිසානායක මහතායි.

වසර හතක ප්‍රගතිය

ඔහු 1994 සිට 2001 දක්වා වසර 7ක් අඛණ්ඩව මෙරට ක්‍රීඩා අමාත්‍ය ධුරය ඉසිලූ අතර මෑත ඉතිහාසයේ එවන් දිගු කලක් ක්‍රීඩා අමාත්‍ය ධුරය ඉසිලූ අමාත්‍යවරයා වන්නේද දිසානායක මහතායි.

ඉන් පසු ගෙවුණු වසර 20 තුළ ක්‍රීඩා අමාත්‍යවරුන් 13 දෙනකු කටයුතු කර තිබෙනවා.

එස් බී දිසානායක මහතාගේ ක්‍රීඩා අමාත්‍ය ධූර කාලය මතක් වන්නේ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලදී ලත් අන්ත පසුබෑම නිසා.

සිය ක්‍රීඩා අමාත්‍ය ධුර අතීතය පිළිබඳව දිසානායක මහතා සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ආවර්ජනයක් කර තිබෙනවා.

ගම්වල දක්ෂයන්ට සැලකූ හැටි

එහිදී තමන් ගම්වල සිටි දක්ෂ ක්‍රීඩකයන් සොයාගත් ආකාරය , ඔවුන්ව ආර්ථිකව හා මානසිකව ශක්තිමත් කළ ආකාරය මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයද රැකියා ලබාදෙමින් ශක්තිමත් කළ ආකාරය හෙළිදරව් කර තිබෙනවා.

ඒ සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත්වී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ වැටුපක් ලබා දීමට , යෑමට ඒමට වාහන ලබා දීමට , නිවෙස් අවශ්‍ය අයට නිවෙස් ලබාදීමට කටයුතු කළ බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ වැටුපක්

මේ අවධියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුනේ ඉතා සුළු වැටුපක් බව පෙන්වා දෙන දිසානායක මහතා අර්ජුන රණතුංග , අරවින්ද ද සිල්වා හා සනත් ජයසූරියට ඉහළ වැටුපක් ලබා දීමට කටයුතු කළේ තමා බවයි සඳහන් කරන්නේ.

ඒ හැරුණු කොට ජාතික පුහුණු කරුවන්ටත් වැටුප් වැඩි කොට නවාතැන් ලබාදී කටයුතු කළ බව පෙන්වා දෙන දිසානායක මහතා ගම්වල සිටි පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඇතැම් පෞද්ගලික ප්‍රශ්න විසඳා නිරවුල් මනසකින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පසුබිම තමන් සකස් කළ දුන් බවයි අවධාරණය කරන්නේ.

නාමල්ටත් හම්බ වෙන්න ඕනලු

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මහතාද තමන්ව මුණගැසීමට අවශ්‍ය බව සදහන් කර ඇති බව පෙන්වා දෙන දිසානායක මහතා තමන් ඔහුව මුණගැසීමට කැමැත්තෙන් සිටින බවයි සඳහන් කරන්නේ.

එහිදී තමන් දන්න දේවල් ඔහුට කියා දීමට හැකි බවයි දිසානායක මහතාගේ විශ්වාසය.

එහෙත් පසුගිය මහ මැතිවරණයෙන් ජය ගත් එස් බී දිසානායක මහතාව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයට පමණක් සීමා කොට තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 19 August 2021 21:02