May 11, 2024

වාසුගේ අසුන බේරෙයි: එස්.එම්ගේ අසුන යයි

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමත් සමඟ ඔහුට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමි වුණා.

ඒ කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දීම නිසා.

පළමු පෙළ සිට දෙවැනි පෙළට

බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපෙළ අසුනක් ලබාදීම සඳහා දෙවැනි පෙළට යාමට සිදුව තිබෙන්නේ එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාට බවයි වාර්තා වන්නේ.

මීට පෙර වාර්තා වූයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අවසාන අසුන වන 20වෙනි අසුන හිමි නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර මහතාට පසුපෙළ අසුනකට යෑමට සිදුවනු ඇති බවයි.

වාසුගේ ප්‍රතික්ෂේප කිරීම

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජේෂ්ඨත්වය තිබුණ ද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කනිෂ්ඨයෙකු වීම නිසාය.

වාසුදේව නානයක්කාර මහතා මුල්වරට කැබිනට් අමාත්‍යවරයකු වූයේ 2020 අගෝස්තු 17 මහ මහමැතිවරණයෙන් පසුවය.

එස්.එම්.චන්ද්‍රසේන මහතා 2010 වර්ෂයේදී ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත් වුණා.

රතන හිමිගේ ඉල්ලීම

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවට සහාය දීමට තීරණය කිරීමත් සමඟ පක්ෂ නායකයෙකු ලෙස ආණ්ඩු පක්ෂයේ පළමු පෙළ අසුනක් ඉල්ලා සිටි අතර ඒ සඳහා අසුන පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියේ වාසුදේව නානයක්කාර ඇමතිවරයාගෙන්.

එම ඉල්ලීම නානයක්කාර අමාත්‍යවරයාගෙන් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වන අතර නානයක්කාර මහතා ඒ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළා.

මෙවර බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරි පෙළ අසුනක් ලබා දීමේදී යළිත් නානයක්කාර මහතාගෙන් ආසනය පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් නොකිරීමට එය හේතු වූ බවයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පක්ෂ නායකත්වයට ප්‍රමුඛතාව

වාසුදේව නානයක්කාර මහතා අමාත්‍යධූරයෙන් කනිෂ්ඨයකූ වුවද තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමි පක්ෂ නායකයෙකු වනවා.

එනිසා පොදුජන පෙරමුණම නියෝජනය කරන එස්.එම්. චන්ද්‍රසේන මහතාට බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය පළමු පෙළ අසුන පරිත්‍යාග කිරීමට සිදුව තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 July 2021 19:54