April 17, 2024

අනේ මන්දා වාසු: ලෝක ජල දිනයටත් යන ලකුණු

ලෝක ජල දිනය අදයි (22).

සෑම වසරකම මාර්තු 22 කට යෙදී තිබෙන ලෝක ජල දිනය සමරන්නේ ජල සම්පාදන අමාත්‍යාංශය විසින්.

මේ සම්බන්ධයෙන් වූ පුවත්පත් දැන්වීම්ද අද (22) ජාතික පුවත්පත්වල පළකර තිබෙනවා.

ජල දිනය

ඒ අනුව අද (22) එම අමාත්‍යංශය විසින් ලෝක ජල දින සැමරීම සවස 4.30 ට අරලියගහ මන්දිරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ ජනපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන්.

මෙහි විශේෂත්වය එම දෙපළට ලෝක ජල දින උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබෙන්නේ ඇමති ධූරයේ වගකීම් නොදරන බවටත් කැබිනට් මණ්ඩල රැස්වීම රැස්වීම් වලට සහභාගී නොවන බවටත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ වාසුදේව නානයක්කාර විෂය භාර අමාත්‍යවරයායි.

අත්සන් තැබීම පමණයි

ජල සම්පාදන අමාත්‍ය ධූරයට අදාළව ලැබුණු නිල වාහනය හා නිල නිවසද මේ වන විට යළි බාර දී ඇති නානයක්කාර මහතා සඳහන් කරන්නේ තමා අමාත්‍යාංශයට නොයන බවත් අත්‍යවශ්‍යම ලිය කියවිලි සිය පුද්ගලික නිවසට ගෙන්වාගෙන ඊට අත්සන් කිරීම පමණක් බවයි.

තමා ජලසම්පාදන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවීමට හේතුව ලෙස නානයක්කාර මහතා පෙන්වා දෙන්නේ එම ධුරයෙන් ඉවත් කිරීමේ වගකීම තමන් ආණ්ඩු වෙත පවරා ඇති බවයි.

එවන් ස්ථාවරයක් දරණ නානයක්කාර මහතා අද (22) ලෝක ජල උත්සවයට නිල වශයෙන් සහභාගි වීම සහ එහි ප්‍රධාන ආරාධිතයින්ට ආරාධනා කිරීමේ ස්ථාවරය මෙතෙක් නානයක්කාර මහතා ප්‍රකාශ කර නැහැ.

ඒ අනුව ජලසම්පාදන අමාත්‍යධුරය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් නානයක්කාර මහතා දරන ස්ථාවරය අපැහැදිලියි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 19:16