April 19, 2024

මගේ ඇමතිකම දැන් ජෝක් එකක් - වාසු කියයි Featured

තමාගේ ඇමැතිධුරය සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය විහිළු සහගත තත්ත්වයක් බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා.

තමා ඇමති ධූරයෙන් ඉවත් නොවීමත් ජනපතිවරයා තමාව ඇමති ධූරයෙන් ඉවත් නොකිරීමත් විහිළු සහගත කරුණක් බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

වගකීම ආණ්ඩුවට

මේ තත්ත්වය දේශපාලන උපායක්ද එසේත් නැතිනම් සැලසුමක්ද යන්න නිගමනය කිරීමට සිදුව තිබෙන බව නානායක්කාර මහතාගේ අවධාරණය කරනවා.

තමා ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ වගකීම ආණ්ඩුවට පවරා තිබීම තමා ඇමති ධූරයෙන් ඉල්ලා අස් නොවීමට හේතුව ලෙසයි ඔහු සඳහන් කරන්නේ.

ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජල සම්පාදන අමාත්‍ය ධුරයේ කළ යුතු අත්‍යවශ්‍යම සේවාවන් එනම් ලිපි වලට අත්සන් තැබීම පමණක් තමා ගෙදර සිට කරන බවයි.

මුළු රටම හරි මගට

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සිය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව මෙසේ කරුණු පෙන්වා දුන්නේ ඉරිදා ජාතික පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී.

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 විසින් ඉකුත් 2 වනදා "මුළු රටම හරි මගට" ප්‍රකාශනය එළිදැක්වීමේ රැස්වීම අමතා විමල් වීරවංශ උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන මහත්වරුන් අදහස් දැක්වූවා.

එහිදී ආණ්ඩුව විශේෂයම බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විවේචනය කිරීමේ චෝදනාව මත විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්තරුන්ට ජනපතිවරයා විසින් ඔවුන් දැරූ කැබිනට් ඇමති ධුරවලින් ඊට පසු දින ඉවත් කළා.

එහෙත් වාසුදේව නානායක්කාර මහතාව ඔහු දැරූ කැබිනට් ඇමති ධූරයෙන් ඉවත් කළේ නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 March 2022 09:01