May 09, 2024

හිරුණිකාගෙන් මිලියන 500 ගන්න විදිහ ගම්මන්පිල කියයි

ළඟ ළඟ එන විශ්වාසභංගෙ නිසා මේ දිනවල බොහෝ දෙනෙක් බලා සිටින්නේ උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා කියන කරන දේ ගැන.

හිරුනිකාගේ පටලැවිල්ල

නීතිඥවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරියගෙන් රු.මිලියන 500 ක වන්දියක් ලබා ගැනීමේ නඩුවක් ජයග්‍රහණය කළ කතාවකුත් මේ ඊයේ පෙරේදා නීතිඥවරයෙකු වන ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රසිද්ධියට පත් කරලයි තියෙන්නේ.

එම නඩුව සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයද ප්‍රතික්ෂේප වී තිබීම නිසා අදාල වන්දිය ගෙවීමටයි සිදුව තිබෙන්නේ.

මෙම මුදල ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් අය කර ගන්නවාද එසේත් නැතිනම් ඇයට සමාවක් ලබා දෙනවාද යන්න පිළිබඳව ඒෂියන් මිරර් ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

දැන් තිබෙන්නේ හිරුනිකාගේ වාරය

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉතා සරලව කියනවා නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට දැන් තිබෙන්නේ තමාට රුපියල් මිලියන 500ක් ලබා දීමට බවයි.

එම මුදල තමාට ගෙවන ලෙස ප්‍රේමචන්ද්‍ර මහත්මියට අධිකරණය නියෝග කර තිබුනට ඒ මුදල ගෙවන්න යැයි ඇයට අධිකරණය බලෙන් කියන්නේ නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇය එම මුදල ලබා නොදන්නේ නම් ඇය සතු දේපල වෙන්දේසි කොට ඒ මුදල පියවා ගැනීමට තමන් යළිත් අධිකරණයට යා යුතු බවයි සඳහන් කරන්නේ.

එහිදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය සතුව තිබෙන වෙන්දේසි කළ නොහැකි දේ මොනවාදැයි ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වෙන්දේසි කරවන්න බැරි දේවල්

ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජීවත් වන නිවස , ඇය භාවිතා කරන ඇඳුම් පැළඳුම් හා බඩු භාණ්ඩ හැර ඇය සතු අන් සියළු වත්කම් වෙන්දේසි කර තමන්ට ලැබිය යුතු මුදල ලබාගැනීමට හැකි බවයි අමාත්‍යවරයා එළිදරව් කරන්නේ.

තමන් තවමත් තමාට ලැබිය යුතුව තිබෙන රු. මිලියන 500 ක මුදල ලබා ගැනීම සඳහා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේපල වෙන්දේසි කරවීමේ පිලිවෙතකට නොගියේ ඇය තමාට පහර දීම මේ වන විට නතර කර තිබෙන නිසා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ ගැන තවම හිතලා නැහැ

එම මුදල අය නොකරගෙන ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග එකඟතාවකට පැමිණ ඇයට සමාව දීමේ අරමුණක් තිබේ දැයි කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින අමාත්‍යවරයා සඳහන් කළේ එවැන්නක් පිළිබඳව තමා තාමත් සිතා නැති බවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ට රු. මිලියන 500 ක වන්දි මුදලක් ගෙවීමට තිබෙන බව ගම්මන්පිල අමාත්‍යවරයා හෙළිදරව් කළේ ඔහුට අපහාස කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේම මන්ත්‍රීවරයෙකු වන කබීර් හෂිම් මහතාට එරෙහිව නඩු පැවරූ බව දැනුම් දුන් අවස්ථාවේ.

වන්දි නඩුවට හේතුව

2015 ජූලි 2දා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් උදය ගම්මන්පිල මහතා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම පදනම් කොටගෙන ගම්මන්පිල මහතා රු. මිලියන 500 ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව විභාග කිරීමෙන් අනතුරුව එම මුදල ගම්මන්පිල මහතාට ගෙවන ලෙස අධිකරණය පේමචන්ද්‍ර මහත්මියට නියෝග කළා.

ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම තීන්දුවට එරෙහිව කොළඹ සිවිල් මහා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් ක අතර 2020 නොවැම්බර් 25දා අභියාචනධිකරණයද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දිසා අධිකරණය දුන් තීන්දුව තහවුරු කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 July 2021 16:49