May 09, 2024

මිලියන 500ක් ගම්මන්පිලට ගෙවන්නැයි හිරුණිකාට අධිකරණ නියෝගයක්

තමා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට තමා හට වන්දි ගෙවීමට අධිකරණයෙන් නියම වී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (12) අනාවරණය කළා.

ඇයට ගෙවීමට නියම වී ඇති මුදල රුපියල් මිලියන 500ක් බවට යි ගම්මන්පිල මහතා පවසා සිටියේ.

ඔහු මෙම අනාවරණය සිදු කළේ අද (12) පැවැති මාධ්‍ය හමුවක් අතරතුර යි.

ඇය මෙම ප්‍රකාශය 2015 වසරේ සිදු කළ බවත්, එම අපහාසාත්මක ප්‍රකාශයෙන් තමාට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා තමන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොණු කළ  බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ තමන්ට මිලියන 500ක මුදලක් ගෙවන ලෙස දිසා අධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හට නියෝග කළ බව යි.

කෙසේ වෙතත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ තීන්දුවට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ නමුත් 2020 වසරේ නොවැම්බර් මස දී දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කරමින් මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළ බව යි ගම්මන්පිල මහතා පවසා සිටියේ.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තමන් හට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවිය යුතු බවත්, එසේ නොගෙවන්නේ නම් ඇයගේ දේපළ වෙන්දේසි කරවා අදාළ මුදල අයකර ගැනීමට තමන්ට හැකියාව පවතින බවත් ඔහු අවධාරණය කළා.

එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේවන විට තමන්ට පහර දීම නවතා ඇති බවක් පෙනෙන්නට ඇති නිසා තමන් එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවූ බව ද ගම්මන්පිල මහතා සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 July 2021 22:54