May 18, 2024

මාරාන්තික කළු දිලීරය ගැන අලුත් කතාවක්

ඉන්දියාව තුළ කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූවන්ට සහ සුව වූවන්ට ආසාදනය වී ඇති “කළු දිලීරය” ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇති බව පෙරේදා (22) මාධ්‍ය වෙත වාර්තා වුණා.

මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගමයක විධායක සභික ධුරය දරන වෛද්‍යවරයෙකු ද එදින සඳහන් කර තිබුණේ එය අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ මෙම "කළු දිලීරය" නොවන බව අම්පාර රෝහල පවසනවා.

අම්පාර දිස්ත්‍රික් රෝහලේ ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය උපුල් ප්‍රියදර්ශන මහතා සඳහන් කරන්නේ අදාළ පුද්ගලයාගේ මොළයට ආසාදනය වී ඇත්තේ "ඊස්ට්" ගණයේ දිලීරයක් බව මේවන විට අනාවරණය වී ඇති බවයි.

අම්පාර ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි පුද්ගලයකුවන ඔහු වෙනත් රෝගාබාධයකට කාලයක් තිස්සේ ලබා ගත් ඖෂධ හේතුවෙන් සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වී ඇති බවත් මේ නිසා මෙම දිලීර ආසාදනය හටගෙන ඇතැයි සැක කරන බවත් අම්පාර රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඉන්දියාවේ මාරාන්තික ලෙස පැතිර යන මෙම කළු දිලීරය මෙරට තුළ ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව මීට සතියකට පමණ පෙර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් ප්‍රකාශ කළා.

කළු දිලීරය මෙරට පුරා පැතිර ගියහොත් එයට මුහුණ දීමට මෙරට සෞඛ්‍ය අංශවලට මහත් අසීරු විය හැකි බවට යි ඔවුන් එදින පවසා සිටියේ.

“Mucormycosis” නමැති මෙම දිලීරය සාමාන්‍ය ව්‍යවහාරයේ දී “black fungus” (කළු දිලීරය) ලෙස හඳුන්වනු ලබනවා.

මෙම දිලීරය ආසාදනය වූ පසු නාසයෙන් රුධිරය ගැලීම, ඇස් ඉදිමී වේදනා දැනීම, ඇහැපිල්ලම් එල්ලා වැටීම, බොඳවුණු ලෙස පෙනීම හෝ අන්ධ භාවය ඇතිවීම ආදී ලක්ෂණ දැකිය හැකියි.

එමෙන්ම මෙම දිලීරයට “කළු” යන විශේෂණ පදය එක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙය ආසාදනය වූ පුද්ගලයින්ගේ නාසය, ඇස් සහ මුඛ්‍ය ආශ්‍රිත ප්‍රදේශයේ සමෙහි තද කළු පැහැ පැල්ලම් ඇති වීම යි.

මෙහි භයානක බව වැඩිදුරටත් විස්තර කරන ඉන්දීය විශේෂඥයින් අනාවරණය කරන්නේ කළු දිලීරය ආසාදනය වූවන්ගෙන් 50%ක් පමණ මරණයට පත්ව ඇති බවයි.

එමෙන්ම පෙරේදා (22) දින ඉන්දියාවෙන් ලැබුණු පුවත් වාර්තා සඳහන් කළේ කළු දිලීරය ආසාදනය වූවන් පැය කිහිපයක් තුළ මරණයට පත් වීමේ අවදානමක් එරට උද්ගත වී ඇති බවයි.

මෙම දිලීරය ආසාදනය වූ පසු එයින් පෙනහළු, දෑස් සහ මොළය වැනි ස්ථානවලට දැඩි හානි සිදුවිය හැකියි.

මෙය වැළැක්වීම සඳහා දෑස් ආදිය ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට ද සිදුවනවා.

මෙම "කළු දිලීරය" පිළිබඳ සවිස්තරාත්මකව දැනගන්න පහත සබැඳිය ක්ලික් කරන්න..

කොරෝනා රෝගීන්ට ඇස් අහිමි කරන "කළු දිලීරය"

Rate this item
(0 votes)
Last modified on Monday, 24 May 2021 17:05