May 17, 2024

කොරෝනා රෝගීන්ට ඇස් අහිමි කරන "කළු දිලීරය"

කොවිඩ් 19 වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ දී වෙනත් රෝග පිළිබඳව අප සැවොම අවධානය යොමු කරන්නේ ඉතා අඩුවෙන්. එහෙත් කොවිඩ් 19 වසංගතය නිසාම හිස ඔසවා ඇති තවත් මාරාන්තික තත්ත්වයක් පිළිබඳව පුවතක් වෙත මේවන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ, කොවිඩ් 19 රෝගීන් අතර මාරාන්තික දිලීර රෝගයක් පැතිර යන බවට ඉන්දියාවෙන් වාර්තා වන පුවතයි.

“Mucormycosis” නමැති මෙම දිලීරය සාමාන්‍ය ව්‍යවහාරයේ දී “black fungus” (කළු දිලීරය) ලෙසයි හඳුන්වනු ලබන්නේ. කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයින් තුළ මෙම කළු දිලීරය හටගෙන ඇත්දැයි යන්න පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙස ඉන්දීය රජය එරට සියළු වෛද්‍යවරුන් වෙත දැනුම් දීමක් ද සිදු කොට තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන පුද්ගලයින් වෙත සහ සුව වී නිවෙස් බලා ගිය පුද්ගලයින් වෙත මෙම කළු දිලීරය ආසාදනය වී ඇති බවට ඉන්දීය වෛද්‍යවරු අනාවරණය කරනවා. 

විද්‍යාඥයින් පවසන්නේ මෙම දිලීරය පස් මත සහ ශාක මත හමුවන අතර, මිනිස් සිරුරට ඇතුළු වුවත් ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් විනාශවන බැවින් එය සාමාන්‍යයෙන් හානියක් නොමැති දිලීරයක් ලෙස මින් පෙර හඳුණාගෙන තිබූ බවයි. කෙසේ වෙතත් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කෙරෙන රෝගී තත්ත්වවලින් පෙළෙන තැනැත්තන්ගේ සිරුරුවලට කළු දිලීරය ඇතුළු වූ විට ඉන් සිරුර ආසාදනය වීමේ හැකියාව පවතින බව ද ඔවුන් සඳහන් කරනවා.

විශේෂයෙන් දියවැඩියාව, පිළිකා තත්ත්ව, ඒඩ්ස් වැනි රෝගවල දී සිරුරේ ප්‍රතිශක්තිය දුර්වලවන බැවින් එවැනි පුද්ගලයින් හට මෙම දිලීරය ආසාදනය වීමේ හැකියාව පවතින බව සඳහන්. එමෙන්ම “ස්ටිරොයිඩ” අඩංගු ඖෂධ භාවිත කරන පුද්ගලයින් හට ද මෙය ආසාදනය විය හැකි බවට හඳුණාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් කළු දිලීරය ආසාදනය වූ පුද්ගලයින් මින් පෙර හමුව ඇත්තේ ඉතාමත් දුර්ලභ ලෙසයි.

මෙම දිලීරය ආසාදනය වූ පසු නාසයෙන් රුධිරය ගැලීම, ඇස් ඉදිමී වේදනා දැනීම, ඇහැපිල්ලම් එල්ලා වැටීම, බොඳවුණු ලෙස පෙනීම හෝ අන්ධ භාවය ඇතිවීම ආදී ලක්ෂණ දැකිය හැකියි. එමෙන්ම මෙම දිලීරයට “කළු” යන විශේෂණ පදය එක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙය ආසාදනය වූ පුද්ගලයින්ගේ නාසය, ඇස් සහ මුඛ්‍ය ආශ්‍රිත ප්‍රදේශයේ සමෙහි තද කළු පැහැ පැල්ලම් ඇති වීම යි.

ඉන්දියාව තුළ කොවිඩ් 19 රෝගීන් අතර මෙම කළු දිලීරය සීග්‍ර ලෙස වාර්තාවෙමින් පවතින අතර එරට වෛද්‍යවරු ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන් කිසි දිනෙක මෙවන් තත්ත්වයක් දැක නොමැති බවයි. තමන්ගේ වසර 10ක සේවා කාලය තුළ කළු දිලීරය ආසාදනය වූ රෝගීන් මින් පෙර දෙදෙනෙකුට වඩා දැක නොමැති නමුත්, කොවිඩ් 19 වසංගතය සිය රට වෙළාගැනීමෙන් අනතුරුව සතියකට කළු දිලීරය ආසාදනය වූවන් 20ක් පමණ හමුවන්නට පටන්ගෙන ඇති බව බීබීසී සේවය වෙත අදහස් දැක්වූ බෙංගලූරු නගරයේ අක්ෂි වෛද්‍යවරයෙකු සඳහන් කරනවා.

සෞඛ්‍ය විශේෂඥයින් මේවන විට සැක පළ කරන්නේ කොවිඩ් 19 සංකූලතා සඳහා භාවිතවෙන ස්ටිරොයිඩ අඩංගු ඖෂධ හේතුවෙන් කළු දිලීර ආසාදන සිද්ධීන් වෙත පාර කැපෙන්නට ඇති බවට යි. කොවිඩ් 19 ආසාදනය වූවන්ගේ පෙණහළුවලට සිදුවිය හැකි හානි අවම කිරීමටයි ස්ටිරොයිඩ භාවිත වන්නේ.

මේ අතර දියවැඩියාවෙන් පෙළන අතරතුර කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලබන පුද්ගලයින් හට කළු දිලීරය ආසාදනය වීමේ ඉතා වැඩි ඉඩකඩක් පවතින බව ද ඔවුන් අවධාරණය කරනවා. එමෙන්ම කොවිඩ් 19 සංකූලතා හේතුවෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයින් ද අවදානමෙහි සිටින බව පැවසෙනවා.

දිලීර ආසාදනයක් යනු එතරම් ගණන් නොගත යුතු දෙයක් ලෙස සාමාන්‍යයෙන් අපට හැඟුණත්, මෙහි අවදානම් සහගත තත්ත්වය වන්නේ කළු දිලීරය ආසාදනය වූ පසු එයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතියට නොහැකි වුවහොත් මොළය සහ පෙණහළු පවා ආසාදනයට ලක් වීමේ හැකියාවක් පැවතීම යි. එය මාරාන්තික බව ද විශේෂඥයින් ප්‍රකාශ කරනවා.

මෙහි භයානක බව වැඩිදුරටත් විස්තර කරන ඉන්දීය විශේෂඥයින් අනාවරණය කරන්නේ කළු දිලීරය ආසාදනය වූවන්ගෙන් 50%ක් පමණ මරණයට පත්ව ඇති බවයි. එහෙත් ලොවටම මහා ව්‍යසනයක් වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් අතුරින් මරණයට පත්ව ඇත්තේ 2.5%ක් පමණක් බවත්, ඒ අනුව කළු දිලීරය කොතරම් භයානකදැයි තේරුම්ගත යුතු බවත් ඔවුන් පවසනවා.

මෙම තත්ත්වය මත කොවිඩ් 19 රෝගීන්ට ස්ටිරොයිඩ අඩංගු ඖෂධ භාවිත කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වීමට ඉන්දීය වෛද්‍යවරු මේවන විට වගබලාගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. නවදිල්ලියේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥයෙකු වන අමරින්දර් සිං ප්‍රකාශ කරන්නේ කළු දිලීරය ආසාදනය වූ සැණින් හඳුණාගතහොත් දිලීර නාශක ඖෂධ භාවිත කරමින් එය පාලනය කිරීමට වැඩි ඉඩක් ඇති බවයි. කෙසේ වෙතත් කල්ගත වී හඳුනාගන්නා රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ශල්‍යකර්ම පවා සිදු කිරීමට සිදුවන බව ඔහු පවසනවා.

එමෙන්ම මුම්බායි නගරයේ ප්‍රධාන අක්ෂි වෛද්‍යවරයෙකුවන ආක්ෂේ නයියර් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ පසුගිය මාසය තුළ පමණක් තමන්ට කළු දිලීරය ආසාදනය වූවන් 40 දෙනෙකු හමු වූ බවයි. එම 40 දෙනාගෙන් 11 දෙනෙකුගේම ඇස් ඉවත් කිරීමට සිදු වූ බව ඔහු පවසන්නේ කණගාටුවෙන්.

“අවුරුදු 25ක තරුණියක් මට හමුවුණා කළු දිලීරය ආසාදනය වෙලා. ඇය කොවිඩ් 19 රෝගය වැළඳිලා ප්‍රතිකාර ලබලා සුව වෙලයි හිටියේ. කොවිඩ්වලින් සුවය ලබලා සති 3කට පස්සේ ඇයට දිලීරය ආසාදනය වෙලා තිබුණා.”

පැය තුනක ශල්‍ය කර්මයකින් අනතුරුව එම තරුණියගේ දිවි බේරුණේ ඇයට එක් ඇසක් අහිමි කරවමින්.

“ඇයගෙ ජීවිතය බේරාගන්න මට ඇගේ එක් ඇසක් ඉවත් කිරීමට සිදු වුණා. එහෙමයි මේ ලෙඩේ හැටි”

එම අවාසනාවන්ත ඉරණම හිමිව ඇත්තේ මෙම තරුණියට පමණක් නොවන අතර ඉන්දියාවේ බොහෝ රෝහල්වල ශල්‍යවෛද්‍යවරුන් හට පැවසීමට ඇත්තේ මෙවැනිම රෝගීන් සම්බන්ධ අත්දැකීම් පිළිබඳවයි. ඇස් ආසාදනය වීමෙන් අනතුරුව දිලීරය මොළය දක්වා ගමන් කිරීම අනිවාර්යයෙන් සිදුවන අතර එසේ වුවහොත් රෝගියා මියයාම ද අනිවාර්යය වනවා. දිලීරය මොළය දක්වා පැතිරීමට පෙර රෝගීන්ගේ ඇස් ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළත් ඇතැම් රෝගීන්ගේ ඇස් ඉවත් කිරීමෙන් අනතුරුව පවා ජීවිතය බේරාගත නොහැකි වූ බව ඔවුන් පවසනවා.

එමෙන්ම ඇතැම් රෝගීන්ගේ ඇස් දෙකම ඉවත් කිරීමට සිදු වූ කණගාටුදායක පුවත් පවා වාර්තා වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසනවා. මෙලෙස ඇස් අහිමි වූවන්ගෙන් බහුතරය තරුණ ප්‍රජාව වීම තවත් ඛේදවාචකයක් ලෙසයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

✍ සහන් පද්මසංඛ පීරිස්

සබැඳි පුවත්:

Rate this item
(2 votes)
Last modified on Saturday, 22 May 2021 21:15