May 18, 2024

මාරාන්තික "කළු දිලීරය" ලංකාවට ඇතුළු වූ බවට තහවුරු වෙයි

ඉන්දියාව තුළ කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූවන්ට සහ සුව වූවන්ට ආසාදනය වී ඇති “කළු දිලීරය” ශ්‍රී ලංකාවට ද පැමිණ ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස එම දිලීරය ආසාදනය වූ පුද්ගලයා වාර්තා වී ඇත්තේ අම්පාර ප්‍රදේශයෙන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කළේ කළු දිලීරය මෙරට පැතිර ගියහොත් මරණ ගණන බොහෝ සෙයින් ඉහළ යා හැකි බව යි.

 

“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලු සහගතයි”

ඉන්දියාවේ මාරාන්තික ලෙස පැතිර යන මෙම කළු දිලීරය මෙරට තුළට ඇතුළු වීමේ අවදානමක් ඇති බව මීට සතියකට පමණ පෙර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් ප්‍රකාශ කළා.

කළු දිලීරය මෙරට පුරා පැතිර ගියහොත් එයට මුහුණ දීමට මෙරට සෞඛ්‍ය අංශවලට මහත් අසීරු විය හැකි බවට යි ඔවුන් එදින පවසා සිටියේ.

“Mucormycosis” නමැති මෙම දිලීරය සාමාන්‍ය ව්‍යවහාරයේ දී “black fungus” (කළු දිලීරය) ලෙස හඳුන්වනු ලබනවා.

මෙම දිලීරය ආසාදනය වූ පසු නාසයෙන් රුධිරය ගැලීම, ඇස් ඉදිමී වේදනා දැනීම, ඇහැපිල්ලම් එල්ලා වැටීම, බොඳවුණු ලෙස පෙනීම හෝ අන්ධ භාවය ඇතිවීම ආදී ලක්ෂණ දැකිය හැකියි.

එමෙන්ම මෙම දිලීරයට “කළු” යන විශේෂණ පදය එක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙය ආසාදනය වූ පුද්ගලයින්ගේ නාසය, ඇස් සහ මුඛ්‍ය ආශ්‍රිත ප්‍රදේශයේ සමෙහි තද කළු පැහැ පැල්ලම් ඇති වීම යි.

මෙහි භයානක බව වැඩිදුරටත් විස්තර කරන ඉන්දීය විශේෂඥයින් අනාවරණය කරන්නේ කළු දිලීරය ආසාදනය වූවන්ගෙන් 50%ක් පමණ මරණයට පත්ව ඇති බවයි.

එමෙන්ම අද (22) දින ඉන්දියාවෙන් ලැබුණු පුවත් වාර්තා සඳහන් කළේ කළු දිලීරය ආසාදනය වූවන් පැය කිහිපයක් තුළ මරණයට පත් වීමේ අවදානමක් එරට උද්ගත වී ඇති බවයි.

මෙම දිලීරය ආසාදනය වූ පසු එයින් පෙනහළු, දෑස් සහ මොළය වැනි ස්ථානවලට දැඩි හානි සිදුවිය හැකියි.

මෙය වැළැක්වීම සඳහා දෑස් ආදිය ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට ද සිදුවනවා.

මෙම "කළු දිලීරය" පිළිබඳ සවිස්තරාත්මකව දැනගන්න පහත සබැඳිය ක්ලික් කරන්න..

කොරෝනා රෝගීන්ට ඇස් අහිමි කරන "කළු දිලීරය"

Rate this item
(13 votes)
Last modified on Saturday, 22 May 2021 21:14