May 02, 2024

විමල්ගේ සහය චීන පිලට: විජේදාස කියන්නේ පට්ටපල් බොරු

වරාය නගරය සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා කියන්නේ පට්ට පල් බොරු බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වරාය නගරය වෙනම රාජ්‍යයක් බවට පත්වන බවට රාජපක්ෂ මහතා කියන කතාවට කිසිම පදනමක් නැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එසේ වීමට කිසිදු ඉඩකඩක් නැති බව අවධාරණය කරයි.

වරාය නගරය කිසිදු ලෙසකින් අපේ රටේ අයිතියෙන් ගැලවෙන්නේ නැති බව පෙන්වා දෙන වීරවංශ අමාත්‍යවරයා තමන් වරාය නගරය සම්බන්ධයෙන් වූ කෙටුම්පත පිළිබඳව බොහෝ ගැඹුරින් අධ්‍යයනය කළ බවත් වරාය නගරය පාලනය කරන්නේ පාලක මණ්ඩලයක් විසින් වන අතර එම මණ්ඩලය පත් කරන්නේ ජනපතිවරයා බවද පෙන්වා දෙයි.

සංකල්පයක් ලෙස ආණ්ඩුව වරාය නගරය සඳහා ඉදිරිපත් කර ඇති ආකෘතිය නිවැරදි ආකෘතියක් යන ස්ථාවරයේ තමන් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ ද නායකයා වන විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ ඉකුත් 20 වෙනි දින කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කොළඹ වරාය නගර කෙටුම්පත හරහා වරාය නගරය චීන කොලනියක් වන බව සදහන් කරමින් නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව හරහා ආණ්ඩුව යම් අසීරුතාවයකට පත්ව සිටී.

විමල් වීරවංශ අමාත්‍යවරයා මෙන්ම විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද ආණ්ඩු කරන පොදු ජන පෙරමුණ නියෝජනය කරන අතර දෙදෙනාම පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කොට පිළිවෙලින් 2 හා 4 වෙනි ස්ථානවලට මනාප ගෙන පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 April 2021 10:23

Related items