May 03, 2024

සජිත්, මෛත්‍රී, විජයදාස ඇතුළු ප්‍රබලයින් රැසක් ආණ්ඩු පෙරළන තැනකට එක්වෙයි Featured

වර්තමාන දේශපාලන වේදිකාවේ දැඩි ප්‍රතිවිරුද්ධ මත දරන ප්‍රබලයින් කිහිපදෙනෙකු ඊයේ (06) සාකච්ඡාවක් සඳහා එක මේසයකට පැමිණියා.

මෙම සාකච්ඡාව සඳහා එක් වූ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් විශේෂයෙන් කැපී පෙනුනා.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා, ආණ්ඩු පක්ෂයට එක්ව සිටින විජයදාස රාජපක්ෂ මහතා, හිටපු කතානායක කරු ජයසූරිය මහතා වැනි දේශපාලන ප්‍රබලයින් ද මෙයට එක්ව සිටියා.

එමෙන්ම මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්,  රංජිත් මද්දුම බණ්ඩාර සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු දේශපාලන චරිත රැසක් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූවා.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රධානතම පක්ෂයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබලයින් කිසිවෙකු මේ සඳහා සහභාගී නොවීම විශේෂත්වයක්.

සාකච්ඡාවට සහභාගී වූවන් මෙන්ම අදාළ සාකච්ඡාව පැවැති ස්ථානය ද විශේෂ වන්නේ එය “ආණ්ඩු පෙරළන ස්ථානයක්” ලෙස සුප්‍රසිද්ධ වී තිබීම නිසා යි.

සර්ව පාක්ෂික සමුළුවක් ලෙස හැඳින්වූ මෙය පැවැත්වූයේ පසුගිය යහපාලන රජයට එරෙහිව එවකට ඒකාබද්ධ විපක්ෂය ලෙස එක් වූ රාජපක්ෂ කඳවුර සිය දේශපාලන සාකච්ඡා පැවැත්වීම පිණිස යොදාගත් නාරාහේම්පිට අභයාරාමයේ දී යි.

නූතන අධ්‍යාපන අර්බුදයත් මේවන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ගුරු-විදුහල්පති වැටුප් විශමතාවයටත් විසඳුම් සෙවීමේ අරමුණින් යුතුව මෙම සර්ව පාක්ෂික සමුළුව සංවිධානය කළ බවට යි පැවසුණේ.

දේශපාලනඥයෙකු නොවුණත් මෙරට දේශපාලනයට ඍජු බලපෑම් කළ හැකි චරිතයක් ලෙස හැඳින්වෙන අභයාරාමයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමුළුව අතරතුරේ දී පවසා සිටියේ සිය විහාරස්ථානයට පක්ෂ නායකයින් විශාල ප්‍රමාණයක් එක මොහොතේ පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන බව යි.

එමෙන්ම අභයාරාමයේ මෙම රැස්වීම පැවැත්වෙන බවට ආරංචි වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම තමන්වහන්සේව දුරකතනයෙන් අමතා ඒ පිළිබඳව විමසා සිටි බව ද ආනන්ද හිමියන් අනාවරණය කළා.

ආණ්ඩු බලය හොබවන රාජපක්ෂ කඳවුරේ ප්‍රබල මෙන්ම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කැපී පෙනුනු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේවන විට කලක සිට ආණ්ඩුව දැඩි සේ විවේචනය කරමින් පසුවනවා.

ඇතැම් අවස්ථාවල දී ජනපති සහ අගමැති වැනි ආණ්ඩුවේ ඉහළතම නායකයින්ට පවා දැඩි වාග් ප්‍රහාර එල්ල කළ උන් වහන්සේ පසුගිය මාස කිහිපය තුළම පවසා සිටියේ වත්මන් පාලක පක්ෂය පරාජය කිරීම සඳහා ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බව යි.

Rate this item
(5 votes)
Last modified on Thursday, 07 October 2021 09:11