May 03, 2024

චීනයට ගැති තාක් කල් අපිට ගොඩ ඒමක් නැහැ: විජයදාස කලකට පසු කරළියට

ශ්‍රී ලංකාව අද ඉන්නේ ගිනි කන්දක් උඩ බවට ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අනතුරු අඟවනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ එම ගිනි කන්ද කොයි වෙලාවෙ පුපුරා යාවිදැයි කිසිවකුටත් කිව නොහැකි බවයි.

චීන ගැති භාවයේ ප්‍රතිඵල

චීනයට ගැති පාලකයෝ බිහි වුන දා සිට රට අනතුරේ බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

මේ රටේ දේශපාලනඥයන් රුවන්වැලිසෑයට , දළදා මාළිගාවට ගොස් දිවුරන්නේ රටේ එක ජාතික සම්පතක් විකුණන්නේ නැති බවට බව ඔහු සඳහන් කරනවා.

එහෙම කියපු එක කණ්ඩායමක් 2000 දී බලයට පැමිණ ආර්ථික සම්පත් විකුණගෙන විකුණගෙන ගිය බව මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ අවසානයේ ඒවා බේරා ගැනීමට පෝලිමේ නඩු පැවරීමට සිදු වූ බවත් මතක් කර දෙමින්.

විකුණූ රටේ සම්පත්

රක්ෂණ සංස්ථාව , ලංකා රෝහල , වරායේ ඉඩම් , ශ්‍රීලංගම එසේ විකුණූ ජාතික සම්පත් අතර තිබූ බව පෙන්වා දෙන ඔහු ඒවා නඩු කියා යළි ලබා ගත් බව සඳහන් කරනවා.

ඒවා ආණ්ඩුව හෝ විපක්ෂය කරපු දේවල් නොව තමා ජීවිත තර්ජන නොතකා කළ දේවල් බවයි රාජපක්ෂ මහතා අනාවරණය කරන්නේ.

අර්බුදය වඩාත් තීව්‍ර වීම

පසුගිය ආණ්ඩු කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය චීනයට විකිණීමත් සමඟ ඇති වූ අර්බුදය දැන් ලෙහෙසියෙන් විසඳීමට නොහැකි බව ඔහු කරුණු සහිතව පෙන්වා දෙනවා.

කොළඹ වරාය නගරයේ චීනයට විකිණීමෙන් ඒ අර්බුදය තවත් තීව්‍ර වූ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් ඇමරිකාවට මෙරට විදුලි බල අයිතිය ලබා දීමට සිදු වූ බවයි සඳහන් කරන්නේ.

චීනෙට මේක දුන්නනම් අපිටත් මේක ඕන කියන ප්‍රතිපත්තියක ඇමරිකාව සිටින බව ඔහු සඳහන් කරනවා.

චීනයට ගැති ප්‍රතිපත්තියක සිටින තාක් කල් ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් , ඉන්දියාවෙන් හා යුරෝපයෙන් ගැලවීමක් නැති බවයි මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 12 October 2021 07:58

Related items