May 03, 2024

ගම්මන්පිලගේ මනාපයත් චීනෙට - විජේදාසට අභියෝගයකුත් කරයි

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කියන ආකාරයට වෙනම රාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය කරන ලක්ෂණ 4 කොළඹ වරාය නගරය තුල චීන රජයට හිමිව නොමැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් තබමින් පෙන්වා දී තිබේ.

මොන්ටෙ විඩෙයෝ සම්මුතියට අනුව වෙනම රාජ්‍යයක් සඳහා නිශ්චිත ජනගහනයක්, නිශ්චිත භූමියක්, නිශ්චිත ආණ්ඩුවක් සහ වෙනත් රාජ්‍යයන් සමග සබඳතා ගොඩ නැගීමේ හැකියාව යන කරුණු හතර සම්පූර්ණ කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ කරුණු හතරෙන් වරාය නගරයට තියෙන්නෙ නිශ්චිත භූමියක් පමණක් බවද සදහන් කරයි.

වරාය නගර භූමියේ සිටින්නේ ලංකාවේ පුරවැසියන් සහ ලංකාණ්ඩුව වීසා ලබාදුන් විදේශිකයන් නිසා එම භූමියට අයිති විශේෂ පිරිසක් එහි නොමැති බවත් වරාය නගරය පාලනය වන්නේ ලංකාවේ නීතියට අනුව ලංකාණ්ඩුව විසින් මිස වෙනම ආණ්ඩුවකින් නොවන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා වරාය නගර පාලන කොමිසමට සාමාජිකයන් පත්කරන්නේ ජනතාව පත් කළ ජනපති බවද අවධාරණය කරයි.

එනිසා වෙනත් රාජ්‍යයන් සමග ගිවිසුම්වලට එළඹීමේ බලයක් වරාය නගර පාලන කොමිසමට ලැබෙන්නේ නැති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

එනිසා මොන්ටෙ විඩෙයෝ ගිවිසුමට අනුව වරාය නගරය වෙනම රාජ්‍යක් බවට පත් වන්නේ පනතේ කුමට වගන්තිවලින් දැයි රටට හෙළිදරව් කරන ලෙස අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට අභියෝගයක්ද කරයි.

කොළඹ වරාය නගරය පිළිබඳව උදය ගම්මන්පිල අමාත්‍යවරයා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස හෙළිදරව් කර තිබුණි.

කොළඹ වරාය නගරය කෙටුම්පත හරහා කොළඹ වරාය නගරය තුල වෙනම චීන රාජ්‍යයක් ගොඩනැගෙන බවට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා නාරහේන්පිට අභයාරාමයේ දී මාධ්‍ය හමුවක් තබමින් කළ හෙලිදරව්ව මේ වට විට ආණ්ඩුවට ද ප්‍රශ්නයක් වී තිබේ.

ඒ විජයදාස රාජපක්ෂ මහතාද වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කිරීම නිසාය.

ගම්මන්පිලගේ මනාපයත් චීනෙට - විජේදාසට අභියෝගයකුත් කරයි

Rate this item
(0 votes)
Last modified on Friday, 23 April 2021 14:16