May 17, 2024

මම ඔය කල්ලි වල නෑ : මම ඉන්නේ මගේ මතයේ - වැඩිම වුනොත් මන්ත්‍රීකම නැති කරයි

තමා විමල් විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 12ක් ඇතුළත් කණ්ඩායමට සම්බන්ධයක් නොමැති බව ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා තහවුරු කරයි.

තමා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ එම පක්ෂයේ සාමාජිකත්වය අරගෙන වුවද තමා සිටින්නේ තමාගේ මතයේ බවද තමන්ට තිබෙන්නේ විජයදාස රාජපක්ෂ අනන්‍යතාවය පමණක් බවද පෙන්වා දෙයි.

වැඩිම වුනොත් කළ හැක්කේ ඇමතිකමක් නොදීම හෝ මන්ත්‍රීකම අහෝසි කිරීමක් බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමාට තනතුරු අනවශ්‍ය බවත් පක්ෂ නායකයන්ට වඩා දේවල් තමා රට වෙනුවෙන් කර තිබෙන බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විකුනපු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ගෙදර නිදාගෙන සිටි බවත් තමා තනියෙන් උසාවි ගොස් එය බේරා ගත් බවත් විජයදාස රාජපක්ෂ මහතා මතක් කර දෙයි.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට රාජපක්ෂ පාලනය එපා කියූ ඇපලෝ රෝහල, රක්ෂණ සංස්ථාව යළි ගත් බවද විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමා කළ දේවල් එක රාජ්‍ය නායකයෙකුවත් කර නොමැති බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමා මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරන්නේ යුද්ධය අවසන් කළ නිසා බවද පෙන්වා දෙයි.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 05 March 2021 11:13

Related items