April 30, 2024

PCR වැඩිකිරීමට තිබූ අවස්ථා මඟහැරුණේ ඇයි ? - රවී කුමුදේශ්ගෙන් හෙළිදරව්වක්

November 05, 2020

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ PCR පරීක්ෂණ වැඩිකිරීමට තිබුණු අවස්ථා ගණනාවක් මඟහැරලා තිබෙන බව ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කළේය. 

ඊට වගකිවයුතු නිලධාරීන් සිටියද ඔවුන්ට එරෙහිව සෞඛ්‍ය අමත්‍යාංශය නිසි පියවර ගෙන නොමැති බව රවී කුමුදේශ් මහතා කියා සිටියේය. 

විශේෂයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලට PCR රසායනාගාරයක් නොසෑදීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින අතර රෝහල වෙත නොමිලයේ ලැබුණු යන්ත්‍රයද අදාල ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරිය සිය සන්නාමය නොවන නිසා එය හරවා යවා  ඇති අතර එය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරිය විසින් සිය රසායනාගාරය තුළ ස්ථාපනය කර දින තුනක ඇතුළත එය ක්‍රියාත්මක කර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇති බව කුමුදේශ්  මහතා සඳහන් කළේය. 
 
එමෙන්ම කුරුණෑගල ශික්ෂණ රෝහලේ තත්ත්වයද කොළඹ ජාතික රෝහලේ තත්ත්වයට දෙවෙනි වී නැති බවද ඒ මහතා සඳහන් කළේය.

''කුරුණෑගල ශික්ෂණ රෝහලේ PCR රසායනාගාරයක් සැදීම සඳහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් යවලා මාසෙකට වැඩියි. රසායනාගාරයක්  හදලා මාස එකහමාරකට වැඩියි. රසායනාගාරයට දිගින් දිගටම උපකරණ ගත්තේ නැති නිසා ඒ ප්‍රදේශයේ මිනිස්සු මැදිහත්වෙලා කුරුණෑගල පොල් පර්යේෂණ ආයතනයේ  තිබුණ නවීන PCR යන්ත්‍රයක් රෝහලට දුන්නා තාවකාලිකව හෝ මේ පරීක්ෂණ පටන් ගන්න කියලා. මාස එකහමාරක් පමණ ඒ යන්ත්‍රය රෝහලේ තිබුණා. රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරිය එය ක්‍රියාත්මක කිරීමේ උනන්දුවක් තිබුණේ නැහැ. ඒ නිසා අද වෙනකොට නැවත පොල් පර්යේෂණ ආයතනය එය අරන් තියෙනවා.'' යනුවෙන් කුමුදේශ් මහතා එම රෝහලේ තත්ත්වය පැහැදිලි කරන ලදී.  

''අපි කියන්නේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරියට මේක කරගෙන යන්න බැරි නම් පුළුවන් විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ එළියේ ඉන්න කෙනෙකුට හරි මේක දීලා කුරුණෑගල රසායනාගාරය දින තුනක් ඇතුළත ආරම්භ කරන්න '' යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියේය.

නීතිමය කාරණා ඇතුළු සියලු තත්ත්වයන් නිරාකරණය කරගෙන දින තුනක් ඇතුළත වැඩ ආරම්භ කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරිය විසින් පෙන්වා දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.  
 
මේ අතර පසුගිය පරෙල් 15 වැනිදා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී ආයතනය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් වාර්තාවේ පැහැදිලි ලෙස සඳහන් කර තිබුණේ සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා පරික්ෂාව සඳහා  PCR රසායනාගාරයක් තිබීම අවශ්‍ය බවයි. 

ඒ අතරින් කුරුණෑගල,කොළඹ,කළුතර සහ කෑගල්ල යන ස්ථාන හතර අත්‍යවශ්‍ය බව දක්වා තිබුණු අතර එය අද තහවුරු වී තිබෙන බවද රවී කුමුදේශ් මහතා පැවසුවේය.   

කෙසේවෙතත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ ද ඇතැම් වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයට යටත් වී ඇති බව පෙනෙන්නට තිබෙන බව ඔහු පැහැදිලි කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා මර්දනය හමුවේ ටෙස්ට්,ටෙස්ට් කියද්දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් වෛද්‍යවරු PCR,PCR කිය කියා සිටි බවත් එම පරීක්ෂණය පමණක්  දැන් ප්‍රමාණවත් නොවන අතර ප්‍රතිදේහ පරීක්ෂාවද ඉතා පහසුවෙන් ආරම්භ කළ හැකි බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත් හෙතෙම මෙහිදී ඉල්ලා සිටියේය. 

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනාට පාහේ වැටුප් ගෙවන්නේ රජයෙන් වන බවත් එයද ජනතාවගේ බදු මුදලින් වන අතර ලක්ෂ ගණනින් වැටුප් ගෙන සිය වගකීම මඟහරින්නේ නම එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියී. 

Rate this item
(0 votes)