April 28, 2024

කටානේ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් කෝටි පහක් කොල්ලකති - ඔත්තුව දුන්නේ ව්‍යාපාරිකයාගේ ලඟින් සිටි අයෙක්?

නවීන පන්නයේ අවි ගත් පස් දෙනකුගෙන් යුතු පාතාල කල්ලියක් කටාන කිඹුලාපිටියේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසකට ඊයේ (30) පෙරවරුවේ ඇතුළු වී, රුපියල් කෝටි තුනක මුදලක් සහ කෝටියකට ආසන්න වටිනා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ. 

කිඹුලාපිටිය අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ නිවෙසට කොල්ලකරුවෝ නවීන පන්නයේ නිල් පැහැති මෝටර් රථයකින් පැමිණ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා ගොස් ඇති බව පොලිසිය පැවසීය.

කලකට පෙර දන්නා හඳුනන හිතවතුන් ලෙස එදින උදේ 9.30ට පමණ පැමිණ ඇති මේ කොල්ලකරුවෝ අතර සිටි දෙදෙනකු යතුරු පැදි වලට පළඳින ආරක්ෂිත හිස් ආවරණ පැළඳ, මුව ආවරණ සහ ජැකට් ද පැළඳ සිටි බව නිවැසියන් පවසා ඇත.

ව්‍යාපාරිකයා හොඳින් හඳුනන අය ලෙස මොවුහු මුරකරු රවටා පසුව මුරකරු අත්අඩංගුවට ගෙන, ගිනි අවි පෙන්වා නිවැසියන්ට මරණීය තර්ජනය කර ඇත. නිවෙසේ ආරක්ෂිත කැමරාවලද එම දර්ශන සටහන් වී ඇත.

මෙසේ හඳුනා ගැනීමට නොහැකි ලෙස කල්ලියේ පස්දෙනාම මුව ආවරණ පැළඳ සිට ඇති අතර පැයක පමණ කාලයක් නිවෙසේ තැන තැන මුදල් සහ දේපළ සොයා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ. මෙසේ නිවැසියන් බිය වද්දා මුදල් කොල්ල හා රන් අභරණ කා පළා ගොස් තිබේ.

යතුරුපැදි හිස් වැසුම් පැළඳ සැකකරුවන් දෙදෙනකු සිටියද යතුරු පැදියක් මේ කොල්ලයට පැමිණ ඇති බවට කිසිදු තොරතුරක් ලැබී නැත.

මුදල් හිමි ව්‍යාපාරිකයාගේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ නවීන බේකරි ව්‍යාපාරය වන අතර නිතර මුදල් ගැවසීම නිසා එකවර බැංකු ගත කිරීමට එම මුදල යොදවා නැති බවට හෙළිව ඇත. ව්‍යාපාරික අවශ්‍යතාව අනුව නිතර මෙවැනි මුදලක් අතේ තිබීම අවශ්‍ය බැවින් ඔහු එය බැංකුවට බැර කිරීම පමා කර ඇත.

මේ අනුව විවිධ තොරතුරු රැසක් පොලිසියට ලැබී ඇති අතර කොල්ලකරුන් සහ පැමිණි රථයත් කොල්ල කෑ මුදලත් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

Rate this item
(1 Vote)

Related items