March 29, 2024

රිය අනතුරකින් පොහොට්ටු මන්ත්‍රීවරිය මියයයි Featured

මීපේ - ඉංගිරිය මාර්ගයේ පාදුක්ක අංගම්පිටිය උළුකැටිය ප්‍රදේශයේ දී යතුරැපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ(04) සවස සිදු වූ අනතුරකින් යතුරැපැදියේ ගමන් ගත් පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක බව කියන 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා.

අනතුරට ලක්වූ යතුරැපැදිය ඉංගිරිය දෙස සිට මීපේ දෙසටත් ලොරි රථය මීපේ දෙස සිට හදපාන්ගොඩ දෙසට ධාවනය කරමින් තිබියදී මුහුණට මුහුණ ගැටී ඇති බවත් යතුරැපැදියේ ගමන්ගත් මිය ගිය කාන්තාවට නින්දයාම නිසාවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදුකල මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ⁣ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන බදුරලිය ශ්‍රී ජිනරතන මාවත පදිංචිව සිටි බී.එච්.එස්. ජයන්ති යන විවාහක කාන්තාවක්.

අනතුරට ලක් වූ ස්ථානයේ දී මිය ගිය කාන්තාවගේ දේහය පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීගොඩ - බුද්ධික කුමාරසිරි

Rate this item
(2 votes)
Last modified on Wednesday, 05 January 2022 11:35

Related items