දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ දිනය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පමණක් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනෙක් පුද්ගලයින් 10 දෙනා මීට පෙර සිදුවූ රිය අනතුරු හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගිය පුද්ගලයින් බව ද පොලීසිය සඳහන් කළා.
අධික වේගයෙන් රිය ධාවනය, නොසැලකිලිමත් බව හා බීමත්ව රිය පැදවීම වැනි කරුණු මෙම රිය අනතුරුවලට හේතුවී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර කැස්බෑව - බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම සිදුව ඇති එම අනතුරෙන් මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙක් හා 19 හැවිරිදි තරුණියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදිය මාර්ගයේ ආරක්ෂිත වැටක ගැටී අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
අනතුරින් මියගොස් ඇති තරුණයා බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර මියගිය තරුණිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මේ අතර දුන්ගල්පිටිය, කැපුන්ගොඩ, නැංගුරම් තොටුපළ වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයින් 05 දෙනෙකු රළපහරකට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.