May 06, 2024

ගල්ෆ් යුද්ධයේ බිහිසුණු කතාවක් : මංතීරු හයේ අධිවේගයේ මරණය

වර්ෂ 1991 දී කැමරා කාචවල සටහන් වුණු මෙම ඡායාරූපය ගල්ෆ් යුද්ධයේ කුරිරු බව මනාව පෙන්වන මෙන්ම ලෝකයේ යුද්ධයක් අතර සටහන් වූ විශිෂ්ඨම ඡායාරූප අතරට එක් වූවකි.

මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ කෙන් ජැරෙක් නම් ජනමාධ්‍ය ඡායාරූප ශීල්පියා විසින්. ඔහු මේ ඡායාරූපය ගන්නා අවස්ථාවේ ඔහුත් සමඟ සිටි ඇමෙරිකානු යුද හමුදා සෙබළාට අපුරු කතාවක් කියා තිබුණේ මෙලසිනි,

“මම මේ ඡායාරූපය ගත්තේ නැත්නම් මිනිස්සු, හරියට මගේ අම්මා වගේ අය සිතාවි යුද්ධය කියන්නේ හරියට ටී.වී එකේ පෙන්වනවා වගේ දෙයක් කියලා..”

මෙම ලෝකයේ වැඩි කතාබහකට ලක්වූ ඡායාරූපය තුළ තිබුණේ ගුවන් ප්‍රහාරයකට ලක්ව ගිනි ගෙන දැවී ගිය ට්‍රක් රථයක සිටි පිළිස්සුණු යුද සෙබළෙකි. 

කේන් ජැරෙක් නම් ඡායාරූප ශිල්පියා

කෙන් විසින් තමන් ගත් ඡායාරූපයේ කතාව ලෝකයේ හමුවේ පවසා තිබුණේ මේ ආකාරයටයි,

 “ සටන් විරාමය ඇරඹෙන්න තිබුණේ පැයක් නැත්නම් පැය එකහාමාරක් වගේ කාලයක්. අපි නැගෙනහිර නස්රියාවේ සිට බාසාරා වෙත ගමන් කරමින් සිටියේ. අපේ ගමන් මාර්ගය වැටිලා තිබුණේ “Highway 80” මාර්ගය ඔස්සේයි. අධිවේගී මාර්ගයේ ටික දුරක් ගමන් කරමින් ඉන්න අවස්ථාවේ අපි මේ බිහිසුණු සිදුවීම දැක්කා..

ද්වීත්ව මංතීරුවක් මැද තනිවී ගිය ලොරි රථයක් තිබුණා.. අපි වාහනය ඒ ආසන්නයේ නතර කරා.. මම හිටියේ ඇමෙරිකානු හමුදා නිලධාරියෙක් සමඟ. මම කැමරා ආම්පන්න ලෑස්ති කරනවා දුටු ඔහු මා වෙත පවසා සිටියේ “මම මැරුණු කෙනෙකුගේ ඡායාරූප ගන්නවාට කැමති නැහැ” ලෙසිනි. නමුත් මම ඔහුට සඳහන් කර සිටියේ මම මේ ඡායාරූපය ගත්තේ නැත්නම් මිනිස්සු, හරියට මගේ අම්මා වගේ අය සිතාවි යුද්ධය කියන්නේ හරියට ටී.වී එකේ පෙන්වනවා වගේ දෙයක් කියලා යනුවෙනි. ඊට පස්සේ හමුදා නිලධාරියා මාව වළක්වන්න උත්සාහ කළේ නැහැ. මං ඉන්පසුව කෙළින්ම ගියේ මෙම ගිනි ගෙන දැවී තිබුණු යුධ රථය ළඟට. ඔහු එය ඇතුළේ සිටියා. ඔහු සමහර විට මගියෙක් වෙන්න පුළුවන්. ඒත් ඔහු දැන් පිළිස්සීලා ගිහින්. ඔහු ජීවත් වෙලා ඉන්න උත්සාහ කරලා තියෙනවා. ඔහු ඒ තැනින් ගැලවිලා යන්න උත්සාහ කරලා තිබුණා. 

මම දන්නේ නැහැ ඔහු කවුද, ඔහු මොනවද කළේ, ඇත්තටම ඔහු හොඳ මනුස්සයෙක් ද කියලවත්, නැත්නම් දරුණු පුද්ගලයෙක්ද, නැත්නම් පවුලක් තිබුණු මිනිහෙක්ද, නැත්නම් හමුදා සෙබළෙක්ද කියලවත්.. ඒත් මං එක දෙයක් දන්නවා. ඒ ඔහු ජීවිතය වෙනුවෙන් සටන් කරලා කියලා..දැන් ඔහු ගල් ගැහිලා..ඔහු ගිනි ගෙන දැවුණු තැනම ගල් ගැහිලා.. කාලයක් මොකක් හෝ යමක් කරලා කියලා මට ඒ වෙලාවේ දැනුණා..

මම ඡායාරූප දෙකක් පමණක් ගත්තා. මම ඡායාරූපය ගන්න ඕන විදිහට රාමුව හදාගන්න එතන තිබුණු දේවල් කිහිපයක් ඉවත් කරා..”

කෙන් ජැරෙක් විසින් ලබාගත් ආන්දෝලනයකට තුඩු දුන් ඡායාරූපය

කෙන් ජැරෙක් විසින් මෙම ඡායාරූප ඇමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කිරීම සඳහා ලබාදුන්නද ඒවා ප්‍රතික්ෂේප කිරීමට කතෘවරුන් කටයුතු කර තිබුණි. එම අවස්ථාවේ කෙන් විසින් සඳහන් කර තිබුණේ ගල්ෆ් යුද්ධය මෙහෙය වීම සිදුකරන ලද්දේ පෙන්ටගනයෙන් බවත්, මාධ්‍ය විසින් එම යුද්ධය වාර්තා කළ යුතු ආකාරය ඒ අනුව පෙන්ටගනය විසින් තීරණය කළ බවත් සඳහන් කළේය.

පසුව ඔහුගේ ඡායාරූප බ්‍රිතාන්‍ය පුවත්පතක් වූ “ලන්ඩන් ඔබ්සවර් (London Observer)” පුවත්පතේ පළ කර තිබුණි.

මෙම සිදුවීම වුයේ කුවෙට් හී මංතීරු 06කින් සමන්විත අධිවේගී මාර්ගය 80 දී වන අතර එම නිසා මෙම ඡායාරූපයට “අධිවේගී මරණය (Highway of Death)” ලෙස නම ලැබී තිබේ. 1990 වසරේ දී ඉරාකය විසින් කුවෙට් ආක්‍රමණය කිරීම සඳහා මෙම මාර්ගය යොදාගෙන තිබුණි.

ඇමෙරිකානු 03 වැනි මැරීන් ගුවන් යානා බලඝනයේ ඒ-6 වර්ගයේ ආක්‍රමණික ගුවන් යානා විසින් මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි ඉරාක යුධ රථ වට කළ අතර GATOR වර්ගයේ යුධ රථ නාශක බෝම්බ ප්‍රහාර මඟින් එම රථ විනාශ කර දැමූ අතර  ඉන්පසුව යූඑස්එස් රේන්ජර් (සීවී / සීවීඒ -61) යොදා මාරාන්තික ප්‍රහාරයක් දියත් කළහ. මෙම ප්‍රහාරයන් සිදු මරණ ප්‍රමාණය අඩු බවත් පළමු ප්‍රහාරයේ දී බොහෝ දෙනා වාහන අත්හැර පලා ගිය බව කීවත් පසුව කළ සොයා බැලීම්වලදී මිය ගොස් සිටි බොහෝ දෙනෙකු සොයාගෙන තිබේ.

ලෝකයේ බොහෝ දෙනෙකු කතා නොකරන එහෙත් ලෝක යුද ඉතිහාසය තුළ ඛේදජනකම යුද්ධයක් ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබේ.

1991 වසරේ දී එල්ල වූ ප්‍රහාරය විනාශ වූ Highway 80 අධිවේගී මාර්ගය ඡායාරූප පහතින්,

ඇමෙරිකානු ප්‍රහාර හමුවේ විනාශ වී ගිය වාහන ගොඩගසා ඇති ආකාරය පහතින්,

Rate this item
(4 votes)