May 05, 2024

eChannelling වෙතින් නිවසේ නිරෝධායනය වන අයට විශේෂ වෛද්‍ය සේවාවක්

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව, නිවසේ නිරෝධායනය වන COVID-19 ආසාදිතයන් වෙනුවෙන් ‘Homecare’ නමින් විශේෂ වෛද්‍ය සේවාවක් හඳුන්වා දී තිබේ.

රටේ දැනට පවතින තත්ත්වය හමුවේ රෝහල් වලට තම සම්පත් වඩාත් හොඳින් කළමනාකරණය කර ගනිමින්, COVID-19 අර්බුදයෙන් මිදීමට රටට අත්වැලක් වීම අරමුණු කරගෙන මෙම සේවාව හඳුන්වා දී ඇත.

නිවසේ සිටම වෛද්‍ය ප්‍රතිකාර 

මෙහිදී, eChannelling Homecare සේවාව ඔස්සේ රෝගීන්ට නිවෙස් වල සිටම වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. තවද, මහජනතාවට මෙන්ම සමාගම් හා ආයතන වලටද මෙම සේවාව ලබාගත හැකි වන අතර තම සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කර ගනිමින්, නිසි මාර්ගෝපදේශ යටතේ තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සමාගම් හා ආයතන වලට සිදුවී ඇති මොහොතක  eChannelling Homecare සේවාව අදාළ වෛද්‍ය සහාය ලබා ගැනීමට මහගු පිටුවහලක් වේ.

eChannelling Home Care සේවාව සුළු හෝ සාමාන්‍ය මට්ටමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ, නිවසේ නිරෝධායනයට ලක්වීම සුදුසු බවට රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරනු ලබන රෝගීන්ට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා භාවිතා කළ හැකි කාර්යක්ෂම සේවාවකි. මෙහිදී ශ්‍රව්‍ය සහ/හෝ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ වෛද්‍යවරුන් විසින් රෝගීන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ උපදෙස් ලබාදීම සිදුකරනු ලැබේ.

සෞඛ්‍ය උපකරණත් ගෙදරටම 

රෝගීන්ගේ තත්ත්වය අනුව අවශ්‍ය වන යම් යම් සෞඛ්‍ය උපකරණ එම රෝගීන්ගේ නිවෙස් වෙතටම ගෙනගොස් භාරදීමටද eChannelling සේවාව කටයුතු කරනු ඇත. මේ වනවිට දින 14 ක නේවාසික නිරෝධායන පැකේජ කිහිපයක් eChannelling මගින් හඳුන්වා දී ඇති අතර, ඊට අමතරව නිවෙස් වල සිටින පුද්ගලයන්ගේ නීරෝගී භාවය උදෙසා තවත් විශේෂ පැකේජ කිහිපයක් හඳුන්වා දීමටද eChannelling පියවර ගෙන ඇත.

සමාගමක කාර්ය මණ්ඩලය වෙනුවෙන් eChannelling Homecare සේවාව ලබාගැනීමද ඉතාමත් පහසු ය. තමන්ට නිරෝධායනය වීමට සිදුවී ඇති බව කිසියම් සේවකයෙකු හෝ සේවිකාවක විසින් අදාළ සමාගමේ මානව සම්පත් අංශය වෙත දන්වනු ලැබූ විට, සෘජුවම eChannelling සේවාව අමතා අදාළ සේවකයා/සේවිකාවට සුදුසු පැකේජයක් තෝරාගෙන එය සක්‍රීය කිරීමට අදාළ සමාගමට හැකියාව ලැබේ.

පැකේජ රැසක්

මහජනතාවටද පැකේජ කිහිපයක් අතරින් තමන්ට කැමති පැකේජය තෝරාගැනීමට අවස්ථාව සලසා දී ඇත. eChannelling සේවාවේ වෙබ් අඩවිය වන www.echannelling.com වෙත පිවිසීමෙන්, eChannelling ජංගම දුරකථන යෙදුම (App) භාවිතයෙන් හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය වන 0710 225225 ඇමතීමෙන් තමන් කැමති පැකේජය සක්‍රීය කරගත හැකි වේ.  

මූලික දින 14 නේවාසික නිරෝධායන පැකේජය යටතේ උදෑසන 7 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ කායික රෝග වෛද්‍යවරයෙකු විසින් ශ්‍රව්‍ය සහ/හෝ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ දිනකට 3 වරක් රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම හා උපදෙස් ලබාදීම සිදුකරනු ඇත. එමෙන්ම රෝගීන්ට මානසික ආතතිය අවම කරගැනීමට උපකාරී වීම සඳහා, කෙටි පණිවිඩ ඔස්සේ තම තත්ත්වය වෛද්‍යවරුන් වෙත දැනුම් දීමට අසීමිත පහසුකම් සලසා දී තිබේ.

වඩාත් ඉහළ මට්ටමේ පැකේජ තුළදී රෝගියාගේ අවශ්‍යතාව සහ රෝග ලක්ෂණ වල බරපතළකම අනුව අනුමත ඔක්සිමීටර් වර්ග ලබාදීම ඇතුළු තවත් පහසුකම් හිමිවනු ඇත. 

Rate this item
(0 votes)