April 20, 2024

ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සඳහා ICTA සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කරයි

ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සැකසීම ආරම්බ කෙරේ. ඒ සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ( ICTA ) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරින. මෙමගින් ඩිජිටල් තාක්ෂනය උපයෝගී කරගනිමින් උසස් මට්ටමේ   ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සදහා අවශ්‍ය පියවර ගනු ඇත. ඒ සදහා අවශ්‍ය ප්‍රමිති, ප්‍රතිපත්ති, සහ මාර්ගෝපදේශ සහිත පුළුල් මාර්ග සිතියමක් සකස්කෙරේ. 

රටේ සමස්ත සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය සේවා නඩත්තුව, රෝග වැලැක්වීම සහ සත්කාර සේවා සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීම මගින් සෞඛ්‍ය වියදම් පාලනය කිරීම මෙහි මුලික  අරමුණකි. එමෙන්ම මෙය මෙරට තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සදහා තිරසාර වැඩපිළිවලක ආරම්භයක් ද වනු ඇත.

මෙම මුලපිරීම යටතේ, ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක්, මෙහෙයුම් අන්තර් ක්‍රියාකාරී සැලැස්මක්, ධාරිතා සංවර්ධන සහ තාක්ෂණික ආධාර සැලැස්මක් සංවර්ධනය කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙෙද්‍ය එස්.එච්. මුණසිංහ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි ICTA සභාපති ඕෂද සේනානායක මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.

මෙරට සෞඛ්‍ය සේවය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන යාම අරමුණු කරගනිමින් ඩිජිටල් තාක්ෂනය පදනම් කරගත් මුලපිරීම් ගණනාවක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්වමේවනවිටත් සාර්ථකව ක්‍රියාවට නගා ඇත.   වෛද්‍ය සැපයුම් සේවා කළමනාකරණ තොරතුරු පද්ධතිය (MSMIS), රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (HHIMS) සහ COVID-19  ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෘදුකාංග විසඳුම් මේ අතර ප්‍රමුඛ වෙයි.

Rate this item
(0 votes)