April 26, 2024

මෙරට අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ සඳහා වැඩි අවස්ථාවක්

සීඝ්‍රයෙන් වර්ධනය වන බ්‍රසීලියානු වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා උත්සාහ දරා ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ පසුගිය 29 වැනි දා ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කේනේස් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී ය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ බ්‍රසීලය සමඟ ද්විපාර්ශ්වික වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍රයන්හි සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම පිළිබඳවයි.

මෙම හමුවේ දී, අමාත්‍යවරයා සහ තානාපති කේනේස් මහතා දේශගුණික විපර්යාස, පුනර්ජනනීය බලශක්තිය, බහුපාර්ශ්වික ආයතන ප්‍රතිසංස්කරණ සහ දකුණු-දකුණු සහයෝගිතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගෝලීය ගැටලු කිහිපයක් පිළිබඳව පොදු මතයක් කරා ලඟා වීමට කටයුතු කිරීම සඳහා එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන නොබැඳි සම්ප්‍රදායේ පසුබිම තුළ, බ්‍රසීලය සහ සමස්ත දකුණු සහ මධ්‍යම ඇමරිකානු කලාපය සමඟ ශක්තිමත් සබඳතා ශක්තිමත් කර ගැනීමට විදේශ අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

දෙරට අතර පවතින ගවේෂණය නොකළ වෙළඳ හැකියාවන් අවධාරණය කරමින්, තේ, කුළුබඩු සහ වටිනා හා අර්ධ වටිනා මැණික් වැනි අව්‍යාජ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා බ්‍රසීලයේ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා විස්තර කර තිබෙනවා.

බ්‍රසීලියානු සංචාරකයින් අතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස සක්‍රීයව ප්‍රවර්ධනය කරන ලෙස ද අමාත්‍යවරයා තානාපති කේනේස් මහතාට ආරාධනා කර තිබෙනවා.

Rate this item
(0 votes)